Wednesday, December 31, 2014

ඇස්වහ, කටවහ, ගෙවල දෝෂ වලින් මිදී අලුත් අවුරුද්දට පා නගමු

2014 අවුරුද්දත් ඉවර වෙන වෙලේ පහුගිය අවුරුද්ද පුරා තිබ්බ ඇස්වහ කටවහ සහ ගෙවලයන්ගෙන් තිබුනාවූ දෝෂ ඉවත්කරගෙනම අවුරුද්ද ආරම්භ කලා නම් හොඳයි කියලා හිතුනා. ජනවාරි පලවෙනිදා කියන්නේ සිංහල අපේ අවුරුද්ද නොවුනත් සමාජ සම්මතයට අනුව අපි ජනවාරි පලමු වෙනිදා නව ආරම්භයක් ගන්න නිසා මේ අලුත් ආරම්භය දෝෂ වලින් තොරව අලුත් උත්තේජනයක් ඇතුව ගන්න පුලුවන් නම් ඒක වටිනවා. ඉතින් මම මේ කියා දෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපවෙත එල්ල වෙන ඇස්වහ කටවහ සහ අපේ නිවාස වල තියන ගෙවල යක්ෂ දෝෂ ඉවත් කරගන්න ක්‍රමයක්.

මුලින්ම පාන්දර කුරුල්ලන් අවදිවන්නට පෙර අවදිවී (පාන්දර 4ට 4.30ට පමන) කථා නොකර නැවුම් මුට්ටියකය පිරිසිදු පැන් ටිකක් පෙරාගෙන අබ ඇට සහ කපු ඇට ස්වල්පයක් දමා පහත මන්ත්‍රයෙන් 108 බැගින් තුන්වරුවක් මතුරාගෙන එම වතුර නිවසේ කමර හා අනෙක් කොටස් වල (වැසිකිලි නාන කාම්මර ඇර) හත් වරුවක් ඉසින්න. ගෙවල යක්ෂ දෝෂ ඇස්වහ කටවහ දුරුවේ.

ඕං ආසප්පර භගවතී ආකුන්ඩලී අක්ෂිවාහා෴
ඕං කරණි ධාරනි බෝකුන්දරණි අවිරුන්ද දෝෂා මූලේ පෝඃ෴


සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Tuesday, December 23, 2014

෴ඉඳුල් කටගෑමේ චාරිත්‍ර හා නැකත් ක්‍රමය෴

          අපගන්නා ආහාර මත අපගේ ශරිර සෞක්‍යහා නිරෝගි තාව රඳාපවතින අතර. ආහාර යනු අපගේ පැවැත්මේ මූලිකාංගයකි. මේ නිසා පුරාතනයේ පටන් දරුවන්ගේ ඉදුල් කටගෑමේ චාරිත්‍රය බොහෝම ඉහලින් සලකා සිදු කල එකකි. අදත් දෙමාපියන් කොතරම් කාර්‍යය බහුල වුනත් දරුවාට නිසි වයස එනවිට චාරිත්‍රානුකූලව ඉඳුල් කටගෑමට පෙලඹිමක් තිබෙන්නේ මේ නිසාය.

                                      සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක්ට ඉඳුල් කටගෑම සඳහා දරුවා ඉපදී මාස හයක් ගතවු පසු ලබන ඉරට්ටේ මාසයක ( 8, 10, 12) යෙදෙන සුභ මුහුර්තයක් සුභ බව සදහන් වන අතර ගැහැනු දරුවෙක් සඳහා දරුවා ඉපිද මාස හයකට පසු ලබන ඔත්තේ මාසයක (9, 11, 13) තෝරාගන්නා සුභ මුහුර්තයක් වඩා සුභ බව සඳහන් වේ. මීට අමතරව නැකැත් සෑදිමේදි පියාගේ ජන්ම නැකතද සැලකිල්ලට ගෙන එයටද ගැලපෙන සේ නැකත සකස් කරගත යුතු අතර මා මුල හා විසා යන නැකත් මගහැරීම ද සුභය. නැකැත් සැකසීමේදී ඉර මුදුන් වීමට පෙර වේලාවකට නැකත සකස් කල යුතු අතර මීට අමතරව නැකැත් සෑදීමේදී භාවිතා කරන අනෙකුත් විධික්‍රම භාවිතා කර සුදුසු නැකතක් තෝරා ගත යුතුය. 



චාරිත්‍ර විධිය

                                      පිරිසිඳුව සකස් කල සුනු සහල් රහිත ඇල්හාල් හෝ රතු කැකුළු හාල් විශේෂයක් ගෙන නැවුම් හැලියක බතක් හා කිරිබතක් උයා ගන්න. (පිරිමි කෙනෙක් විසින් ඉවීම සුභ බවටද මතයක් තිබේ). තම්බාගත් දෙහි ගා දරුවාගේ හිස් සෝදා සුදට හුරු ඇඳුම් අන්දවා දෙමාපියන්ටත් (දෙමා පියන්ද නා පිරිසුඳු විය යුතුයි) බුදුන් වහන්සේටත් දරුවා ලවා වන්දවන්න. ඉන් පසුව බිමට පැදුරක් දමා ඒ මත සුදු ඇතිරිල්ලක් දමා ඒ මත පොල් තෙල් පහනක් දල්වා බත්, කිරි බත් හා ව්‍යාන්ජනද ඒ මත තබන්න. මෙහිදී පැදුර එලා සකස් කර ගැනීමේදී සුභ දිසාවට මුහුනදී වාඩි විය හැකිසේ පැදුරු දමන්නට සැලකිලිමත් වන්න. මීට අමතරව පෙර සදහන් කල දේ වලට අමතරව පලතුරු, රස කැවිලි, මුදල්, රන් ආභරන, පොත් හා පැන්සලක්ද තබන්න. මෙහිදී තිවාලු හා පූවාලූ තැබීම පෙර සිරිතක් බැවින් අලු කෙසෙල් ව්‍යාංජනයක් හා කෝලි කුට්ටු ඇවරියක් ද මෙයටම අන්තර්ගත කිරන්න. එමෙන්ම නෙලුම් කොල මත ආහාර තැබීම ද පෙර සිටම පැවත එන සිරිතය.
                                         මෙසේ සකස් කල ඇතිරිල්ල අසල මේ සියල්ල දරුවාට පෙනෙන සේ සුදු උරයක් හෝ ඇතිරිල්ලක් දැමු කොට්ටයක් තබා ආසනයක් සකස් කරගන්න. මව හා පියා සමග දරුවාගේ දෙපසින් නා පිරිසිඳු වූ කන්‍යාවන් දෙ දෙනෙක් සිටගෙන ඉන්නට සලස්වා සුබ මොහොතින් පලමු බත් කට කවන්න. පිරිමි දරුවෙක් නම් පියා අතේ සිටියදී මව විසින්ද ගැහැනු දරුවෙකු නම් මව අතේ දරුවා සිටියදී පියා විසින්ද බත් කට කවනු ලැබේ. මව හෝ පියා නැති විටදී ඇවැස්ස නැන්දනිය හා මාමා සම්භන්ධ කර ගත යුතුය. මෙසේ බත් කැවීමෙන් පසු පෙර සකස් කරගත් කොට්ටය සහිත ආසනය මත දරුවාව තබන්න. දරුවාට කැමති දෙයක් ගන්නට ඉඩ දෙන්න දරුවා ආහාරයක් ගතහොත් එය කවන්න. ( දරුවාට කන්නට දිය හැකි ආහාර පමනක් තබන්නට වගබලා ගත යුතුය) මෙම ආසනයේදීම දරුවාගේ කරට පංචායුධයක් පලඳවන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Saturday, December 20, 2014

෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

              බ්‍රහස්පති, සුරගුරු, ගුරු, ඊද්‍ය, ජීව, අංගිර, වචස්පති, මන්ත්‍රී, සුරාචාර්‍යය, දේවෙජ්‍ය, ආර්‍ය, අන්ගිරස, වගීෂ, සුරී යන නම් වලින් හඳුන් වන අප කවුරුත් පොදුවේ ගුරු ලෙස හඳුන් වන මෙම ග්‍රහයා ග්‍රහ ලොව උපදේෂකයා පුරෝහිතයා ලෙස හඳුන්වයි. සූ‍ර්‍යයාට පමනක් දෙවෙනු වෙන මෙම ග්‍රහයා නෛසර්ගික ශුභයෙකු සෞම්‍ය ග්‍රහයෙකු ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. 

            සුභයෙකු සෞම්‍යග්‍රහයෙකු වූ පමනින් ගුරු අපල කරන්නේ නැත කියා අපට සිතීමට නොහැක. යම් හෙයකින් ගුරු අපල කරන තත්වයකට පත්ව සිටී නම් ඒ අපල බොහෝ දරුනු බව අත් දැකීමෙන්ම පැවසිය හැක. එය ලෙහෙසියෙන් කේන්ති නොයන කෙනෙක්ට කේන්ති ගියහොත් ඒය අන් අයට කේන්ති ගියාට වඩා බොහෝ දරුනු වන්නාක් මෙනි.  ගුරු දුර්වල වූ විට හෝ අසුභ ලෙස පිහිටි විට මධු මේහය, ලියුකේමියා හා පිලිකා තත්ව, විදුරුමස් දියවීමේ රෝග, ලේ විෂ වීම, පෙනහලු ආශ්‍රිත රෝග ආදිය ඇතිවීමටත් දරු පල අහිමි කිරීමට වැන් දේත් සිදුවිය හැක. ජන්ම පත්‍රයේ ගුරුගේ තත්වය හා අනෙක් ග්‍රහ තත්ව අනුව මෙම රෝග හා අපල නිර්නය කර ගත යුතුය.

කෙසේ නමුත් ගුරුගේ අපල සඳහා ජ්‍යොතිශමය ආර්යුවේදිය හා වෛදික ප්‍රතිකර්ම රැසක් සඳහන් වේ ඒවා මෙසේය.



  • ස්කන්ධය, පෘෂ්ඨය, හා ඡේදනය නිසි ලෙස සකස් කරගත් පුෂ්පරාගයක් (yellow sapphire) රන් මුදුවකට අල්ලා පලඳින්න.
  • නිසි ලෙස පුද පූජා සහ මැතුරුම් සම්පූර්න කර විද්‍යානුකූලව සකස්කල අභිසම්හිධානය යන්තරයක් හෝ නරසිංහ යන්තරයක් පලඳින්න
  • ශිව කතරගම හෝ ශක්‍ර දෙවියන්ට භාරයක් වෙන්න.
  • අටපිරිකරක් (ආර්ථික හැකියාවක් නැතිනම් කහ සිවුරක්) සහ මීපැණි බෝතලයක් හා ධාන්‍ය ආහාර දානයක් සංඝයා වහන්සේ නමකට දෙන්න.
  • බ්‍රහස්පතින්දා දිනවල බෙලි මල් සහ වෙනත් කහ මල් පුදා බෝධි පූජා කරන්න, බෝ මළුව අමදින්න.

මීට මතරව පහත සඳහන් ආයුර්වේද ඔසු තැම්බු වතුර ස්නානයෙන් ගුරුගේ අපල දුරුවේ.
                       සමන් පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොල, වැල්මී

වෛදික ක්‍රමය තුල පංච භූත්යන්ට අදාලව හදූන්වා දී ඇති පංචඋපහාර අනුව ගුරු අපල වලට වඩාත් පලදායි ක්‍රමයක් ලෙස ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර භාවිතය හදුන්වා දිය හැක. මේ නිසා පහත මන්ත්‍ර හා ස්ත්‍රෝත්‍ර දිනපතා භාවිතයද මැනවි

හ්‍රීං දේවානාඤ්ච සෘෂිණාඤ්ච
ගුරුං කාඤ්චන සන්නිභම්
බුද්ධි භූතං ත්‍රිලොකේෂං
තං නමාමි බෘහස්පතිම්

වේදයේ ඇති ගුරු ප්‍රසාදක මන්ත්‍රයක්
ඕං බෘහස්පතේ අති යද‍ර්‍ය්‍යා අර්‍භාද්ද්‍යුමද්විභාති ක්‍රතු මජ්ජනේෂු යද්දීදයච්ජවස සෘත ප්‍රජාත තදස්මාසු දාවිනං ධෙහි චිත්‍රං

මීට අමතරව තවත් බොහො ස්ත්‍රොත්‍ර ඇති අතර හැකිතාක් ස්ත්‍රෝත්‍ර ගුරු දිනයන්හී ගායනය සුභය.

ඉහත ප්‍රථි කර්ම වල නිසි ප්‍රයෝජනය ලබන්නටනම් තමාද යහපත් කල්කිරියාවෙන් හා පිරිසිඳු සිතක් සහිතව ජීවත් විය යුතුය.


වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, December 10, 2014

෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

කුජ ග්‍රහයා ජ්‍යොතිෂ විශය තුල හඳුන්වන්නේ ග්‍රහලොව සෙන්පතියා කියාය. ධෛර්‍යය, ශක්තිය, නිර්භිත බව, සටන් කාමි බව හා ලේ ධාතුවට බලපෑම් කරන කුජ ග්‍රහයා දුර්වල වී හෝ වෙනත් ආකාරයකින් අපල සිදු කරන විට හදීසි අනතුරු, විෂාල තුවාල, උණ රෝග, නඩු හබ, හා රන්ඩු සරුවල්, ලේ විෂවීම් වැනි තත්ව වලට මුහුන දෙන්නට සිදුවේ.
මෙම අපල වලින් සහනයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ ආයුර්වේදයේ හා වේදයේ නොයෙකුත් ප්‍රතිකර්ම දක්වා ඇති අතර මේ ප්‍රතිකර්ම තුලින් සහනයක් ලබාගැනීම වසර දහස් ගනනක් පුරා ජනතාව විසින් සිදු කර ඇත.



කුජ අපලයට පහත ප්‍රතිකර්ම සිදු කිරීම මගින් අපලය මගහරවා ගත හැක 
  •  කතරගම දෙවියන්ට නිවැරදි ලෙස බාරයක් වීම
  • කොරල්, තිරිඟු, රන්, තඹ, පරිප්පු වලින් සෑදු ආහාර, හරක්, සීනි, තද රතු රෙදි දන් දෙන්න
  • කනේරු මල් හා වෙනත් රතු මල් පූජා කර දින හතක් බෝධිපූජාවන් සිදු කරන්න
බෝධි පූජාව පවත්වන පිලිවෙත. 
අඟහරුවාදා දිනවල  සවස බෝධිය අසල බුලත් කොල 13 තබා ඒ මත පහන් 13ක් තබන්න. මුල් පහන් 3 ත්‍රිවිධ රත්නයටය.. එයිනුත් මැද පහන බුදුන්ටය. හතරවන පහන බෝධීන් වහන්සේටය ඉතිරි පහන් නවය නවග්‍රහයින්ටය.. පහන් සමග කනේරු මල් හා රතු අරලිය මල්ද තබන්න.. නවග්‍රහයින්ට තැබූ පහන් වල තඹ පැහැ පඬුරුද තබන්න (තඹ කාසි හෝ අලුත් සත 50 කාසි). මෙම පහන් පුජාව කර බෝධිය නහවන්නට පටන් ගන්න.. බෝධිය වටේ සත් වටයක් දක්ෂිනාවර්ථව පැදකුනු කරමින් සත්වරක් බෝධිය නහවන්න... ඉන්පසු පහත ස්ත්‍රෝත්‍රය කියා වැඳ මෛත්‍රී භාවනාව කර ශාසනාරක්ශක දෙවියන්ට හා කතරගම දෙවියන්ටපින් පමුනුවා කුජ අපලයෙන් මිදීමට පිහිට පතන්න.

ස්ත්‍රෝත්‍රය
රක්ත මාල්‍යම්බර ධරඃ
ශක්ති ශූල ගද්‍ර ධරඃ
චතුර් භූජො මේෂගාමි
වරදඃ ස්‍යාද්ධරාසුතඃ ///

  • ඡේදනය පෘෂ්ඨය හා විෂාලත්වය නිසි ලෙස සකස්කරගත් කොරල් හෝ රතු මැනිකක් මුදුවකට අල්ලා පලඳින්න
  • කන්දකුමාර යන්ත්‍රය හෝ අභිසම්මිදානේ යන්ත්‍රය නිවැරදිව ඇඳ නිසි වත් පිලිවෙත් සහිතව ජප කර පලඳින්න
  • කොලොන් ගසකට සාත්තු කරන්න එහි සෙවනේ ඉන්න.

කුජ අපලයට පහත සඳහන් ආයුර්වේද ඔසු තම්බා ස්නානය කරන ලෙස පැරනි පොත පතේ සඳහන්ය
බෙලි, සුදු සඳුන් බැවිල, කනේරු මල්, පෙරුංකායං, රුක්මල්, මූනමල්, ජටාමාංස



වෛදික ක්‍රමය තුල කුජ ග්‍රහයා සිටින ස්ථානය අනුව පහත ප්‍රථිකර්ම කිරීමෙන් අපල දුරු වෙන බව සඳහන්ය

  • කුජ ග්‍රහයා ලග්නයේ නම් ගලායන ජලයට හකුරු හෝ රතු සීනි දමන්න
  • කුජ ග්‍රහයා දෙවැන්නේ නම් පුදපූජා තබන ස්ථානයේ හකුරු, ගිතෙල්, පිටි හා සහල් තබන්න
  • කුජ තුන්වැන්නේ නම් ගිතෙල්, පිටි, දොඩම්, තඹ පූජා කරන්න
  • කුජ හතර වැන්නේ නම් පහත ස්ත්‍රොත්‍රය දිනපතා කියන්න
                    ඕම් අන්ජානෙයායෙ විද්මහේ
                    වායු පුත්‍රාය ධීමහී
                    තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

  • කුජ පස්වැන්නේ නම් දිනපතා සවස මෙම බීජ මන්ත්‍රය 108 වරක් කියන්න
                    ඕම් ක්‍රාන් ක්‍රීන් ක්‍රොන් සායි අංගාරකායේ නමඃ෴

  • කුජ හය වැන්නේ නම් රතු අගස්ති ගලක් මුදල් පසුම්බියේ තබාගන්න
  • කුජ හත්වැන්නේ නම් දුගීන්ට පැනිරස කැවිලි දෙන්න
  • කුජ අට වැන්නේ නම් දුගීන්ට පරිප්පු (මයිසූර් පරිප්පු රතු ගත්යෙන් වැඩි නිසා එය වඩා යෝග්‍යයි) දන් දෙන්න
  • කුජ නමවැන්නේ නම් අඟහරුවාදා දින 11ක් දිනකට පොල් ගෙඩියක් බැගින් ගලායන ජලයේ පාකරන්න
  • කුජ දස වැන්නේ නම් අඟහරු වාදා දිනක කොලොන් ගසක් පාමුල පහත ස්ත්‍රොත්‍රය 21 වරක් කියන්න 
                    ඕම් අන්ජානෙයායෙ විද්මහේ
                    වායු පුත්‍රාය ධීමහී
                    තන්නෝ හනුමන්ත් ප්‍රචොදයාත්

  • කුජ එකොලොස් වැන්නේ නම් පහත සඳහන් බීජ මන්ත්‍රය හවස් වරුවේ 108 වරක් කියන්න
                    ඕම් ආං අංගාරකායේ නමඃ෴

  • කුජ දොලොස්වැන්නේ නම් අඟහරුවාදා දින වල දේවාලයකට (කතර ගම දෙවියන් නම් වඩා යෝග්‍යයි) උක් හකුරු පූජා කරන්න
මේ ප්‍රථිකර්ම තුලින් කුජ අපල මැඩපවත්වාගත හැකි අතර තමන්ට වඩාත්ම ගැලපෙන හා තමන්ට වඩාත්ම පලදායි කුමන ප්‍රථි කර්ම කිරීමදැයි යන්න ගැන උගත් ජ්‍යොතිර්වේදියෙකුගෙන් උපදෙස් ගැනීම බුද්ධි ගොචරය.



වෛදික ‍ජ්‍යොතිෂවේදී
ගුප්ත විද්‍යා ගවේෂක
ධනුෂ්ක අබේරත්න 
0755 00 41 66

Monday, December 8, 2014

෴නිමිති ශාස්ත්‍රය෴

මීට දශක එකහමාරකට දෙකකට පමන පෙර මා පාසල් යන අවධියේ පාසල් නිවාඩුවට ගමේ යෑම සිරිතක් විය එසේ ගිය අවස්ථාවක දිනක් මාගේ ආච්චිඅම්මාගේ රන් මාලයක් අස්ථාන ගතවීම නිසා සාස්තරයක් බැලීමට මාවද කැටුව ගිය අතර මටද එය අලුත් අත් දැකීමක් නිසා මමද බොහෝම කැමැත්තෙන් ඊට සහභාගී වීමි.
අපේ නිවසේ සිට මඳ දුරක් ගිය තැන තරමක් කුඩා නිවසක පිලිකන්නේ මේසයක් තබාගෙන සිටි වයසක සීයා කෙනෙකි මා බලපොරොත්තුව ගියේ අඳුරු කාමරයක මිනී ඔලු තබාගෙන රතුපටියක් ඉන බැඳ සිටින තරමක් ගුප්ත ගතියක් ඇති පුද්ගලයෙකු දකින්නටය (මෙය සිදු වන විට මට වයස අවුරුදු පහලොවක් වත් නොමැත) නමුත් මගේ බලාපොරොත්තු කඩකරමින් ඔහු ප්‍රසන්න පුද්ගලයෙකු විය. ගෙමිදුලද මනාව අතුපතුගා තිබිනි. කෙසේ වෙතත් සාස්තරයනම් නොකියවෙන බව මට දැන් විෂ්වාසය. ඒ මන්දයත් ඔහු මා බලාපොරොත්තු වූ අන්දමේ ශාස්ත්‍ර කියන්නෙකු නොවීමයි. ඔහු තුල කිසිම ගුප්ත ගතියක් නොවිනි අඩුම තරමේ ඔහු ලඟ හැරමිටියක්වත් මිනි ඔලුවක්වත් නොතිබිනි.
මාගේ ආච්චි අම්මා සුලු මුදලක් සමග බුලත් අතක් ඔහු වෙත ලබා දුන් අතර ඔහු මුදල ගනන් නොකර බුලත් කොල ගනන් කරන්නට පටන් ගත්තේය. සල්ලි ගනන් නොකර බුලත් ගනින්නේ මොන මොඩ මනුස්සයෙක්දැයි මට සිතිනි. ආච්චි අම්මාද තමා ආව කාරනය නොකියා ඔහේ වාඩිවී සිටියි.
"නැතිවුන වටින කියන භාන්ඩයක් ගැන දැන ගන්න නේද ආවේ?"යි ඒ සියා ඇසුකල ආච්චිඅම්මාද "එහෙමයි" කියා පිලිතුරු දුන්නාය. කනා ෂොට් එකක් වැඩ කලා කියා මම මටම කියාගත්තෙමි. එයින් පසුව එම සීයා මොන මොනවදො කල්පනාකරමින් ගනන් හදමින් කොලයක ලිව්වේය.
"කවුරුත් හොරකම් කරලා නෑ බඩුව තිබ්බ තැනම තියනවා, නෝනට තිබ්බ තැන අමතක වෙලා තියන්නේ. දවස් තුනක් ඇතුලත ලැබෙයි නෝනා" මේ මනුස්සය විකාර කියවනවා අපි ගේ අනිත් පැත්ත පෙරලුවේ නැති ටික විතරයි. මේ මනුස්සයා දන්න සාස්තරයක් නෑයි මම උපහාසාත්මකව මටම කියාගත්තත් එවෙලේ වැඩිහිටියන් ඉදිරියේ මැදට පැන කථා කිරීම සුදුසු නැති නිසා නිශ්ෂබ්දව සිටියෙමි. කෙසේ හෝ කාලය හා මුදල් නාස්තිවීම ගැන ඔහුට සිතින් බැන බැන මම නිවසට ආවෙමි.
දින දෙකක් ගතවිනි දෙවන දිනයේ රාත්‍රියේ අම්මේ මෙන්න මාලේ හම්බුනා කියමින් අපේ නැන්දා පැමියේ සිනාමුසුවය.
කොහෙද මාලේ තිබ්බේ?
ෆ්‍රිජ් එක ඇතුලේ
ආනේ ලමයෝ මම කඩේ ගිහින් ඇවිත් බඩු අස්කරනකොට ගලවලා අතේ තියන් හිටපු මාලෙත් අමතකවෙලා දාලනේ. පෙරෙදා නිමිත්තටත් කියවුනා දාපු තැන අමතකවෙලා කියලා දවස් තුනක් ඇතුලත ලැබෙයි කියලා. දැන් මගේ සිතට ගැටලුවක් ගෙන දෙන දේ වනේ මේ සීයා මේ‍ය කිව්වේ කෙසේද යන්නයි. මා පෙර සිතා සිටි ලෙස කනා ෂොට් එකක් ගැසුවානම් ඔහු ගසන්නේ සිදුවීමට වැඩි සම්භාවිතාවක් ඇති සොරෙක් ගෙනිච්චා කියන පැත්තටය. මේ ගැන වැඩි දුර සොයන්නට වුවමනාව තිබුනත් පාසල් නිවාඩුව අවසන් වී නැවත්ත් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට ඇතුලු විම නිසා එයින් එහා ඒ පිලිබඳව සොයන්නට ඉඩ නොලැබින.




මේ නිමිති ඇල්ලීම ගැන මට තිබෙන පලමු අත්දැකීමයි. ඊට වසර ගනනාවකට පසු මා ජ්‍යොතිෂය ඉගෙන ගන්නා මුල් කාලයේ පටන්ම ඉන්පසුව විවිධ අවස්ථාවල නිමිති අල්ලනවා දකින්නත් ඒ පිලිබඳ යම් දුරකට අධ්‍යයනය කරන්නත් ලැබුනි. මෙහිදී ශාස්තයේ සමහර කොටස් ජ්‍යොතිෂයට සම්භන්ධ අතර සමහර කොටස් අදද මට ඒ එසේ වන්නේ හෝ කරන්නේ කෙසේද ඇයිදයි කියා විස්තර කරදීමට අපහසුය. නමුත් නිමිති ඇල්ලීම තුල යම් ගුප්තමය ශාස්ත්‍රයක්ද පවතින බව පෙනේ. කෙසේ නමුත් උදය වරුවේ අල්ලන නිමිති වල සාර්ථකත්වය වැඩි අතර නිමිති ඇල්ලීම පිලිබඳ රීතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. (වරක් ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනය කරයිද කියා ඇසු පැනයට බින්නසිරි ලෙස අපි කවුරුත් ආදරයට හඳුන්වන මහත්මයෙක් ඉර බැස යන වෙලේද රූපවාහිනී නාලිකාවක නිමිති ඇල්ලුවේය, අවසානයේ ඔහුත් මඩ නාගෙන ජ්‍යොතිෂටයත් මඩ ගසන්න මාවතක් හදාදී ගියා කාට කාටත් මතක ඇතැයි සිතමි). 
මීට අමතරව පලමුව යම් තැනකින් නිමිත්තක් ඇල්ලීමේදී පලමු අවස්ථාව සාර්ථක වුවත් පසුව කියවෙන ඒවා එතරම් සාර්ථක නොවන බව සමහරුන්ගේ මතයකි. මා නම් දකින්නේ එකම ක්‍රමයක් භාවිතා කිරීමේදී මේ දෙය සිදුවෙන බවයි.මෙයට හේතුව පලමු අවස්ථාව තුල තමා භාවිතා කල ක්‍රමයම දෙවැන්නටද භාවිතා කිරීම නිසා සිදුවන දෝෂයයි උදාහරනයක් කියන්නේ නම් මලක් තබා අංකයක් තෝරන නිමිත්තක් ඇල්ලු කෙනෙක් ඊලඟ වතාවේදීද තමා පෙර තැබූ අංකයට නිවැරදි ලෙස කියවුන නිසා වෙනත් අංකයක් තෝරාගැනීමට සිතුනද නමුත් පෙර අංකයම නැවත් තෝරා ගැනිම වැනි දේ නිසා දෝෂ ඇතිවිය හැක.
මේ දෝෂය මගහරවා ගැනීමට නිමිති අල්ලන ක්‍රම කීපයක් ඉගෙන ගැනීමටත් ඒවා මාරුවෙන් මාරුවට භාවිතා කිරීමටත් ජ්‍යොතිර්වේදියා හෝ සාස්ත්‍ර කරු දක්ෂ විය යුතුය. මීට අමතරව නිමිති ඇල්ලීම ගුප්තවිද්‍යා කොටසටද නෑකම් කියන හෙයින් ජ්‍යොතිර්වේදියා හා නිමිති අසන්නට එන පුද්ගලයා යන දෙදෙනාම සිතින් කයින් පිරිසිඳුව කිල්ලෙන් පරෙස්සම්ව යහපත් කල්කිරියාවෙන් එම වැඩය කරයි නම් ප්‍රථිපල සාර්ථකය   

කෙසේ නමුත් නිමිති ඇල්ලීම හෙවත් නිමිති ශාස්ත්‍රයද අද කෙමෙන් කෙමෙන් අභාවයට යන ශාස්ත්‍රයක් බවට පත්වී ඇති අතර මෙම ශාස්ත්‍රය පිලිබඳවද සාර්ථක ලෙස ලියැවුනු සිංහල පොතපත තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි.

නිමිත්තක් අල්ලන හැටි සමගින් ඊලඟ ලිපියෙන් හමුවෙමු. :)



වෛදික ජ්‍යොතිෂවේදී
ගුප්තවිද්‍යා ගවේශක
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66