Monday, January 27, 2014

විවාහය - 4 (කුජ දෝෂය)

විවාහය-3 කියවූ බොහෝ දෙනෙක් මගෙන් ඇසූ දෙයක් වූයේ කුජ දෝෂය වැනි ප්‍රභල දෝෂයක් ගැන සඳහන් නොකලේ මන්ද යන වගය. එයට පිලිතුරද කුජ දෝෂය ප්‍රභල දෝෂයක් වගේම පැටලැවිලි සහිත වීමමයි. පැහැදිලිව කියනවා නම් කුජ දෝෂය යනු දෙපත් නයෙක් මෙනැයි පැවසීම වඩා නිවැරදිය. කෙනෙක් මෙම දෝෂය දුටු වහාම වරදියට තේරුම්ගැනීමට ඇති ඉඩ ඉතා වැඩිය. දෙපත් නයා මෙන් මෙම දෝෂයද වැරදි පැත්තෙන් අල්ල ගත්තොත් වෙන්නේ විනාශයක්මය. කුජ දෝෂය කුමක්දැයි දැන් අපි සලකා බලමු.




කුජ දොෂය එහෙමත් නැත්තන් භෞම දෝෂය යනුවෙනුත් හඳුන්වන මෙය යෙදෙන්නේ යමෙකුගේ හඳහනක 1,2,4,7,8,12 කියන කොටු වල කුජ ග්‍රහයා තැම්පත්වීමෙනුයි.

කුජ 1
කුජ 1 හෙවත් ලග්නයේනම් එවැන්නන් කාර්ය ශූර පුද්ගලයෝය. කුජ ලග්නයේ සිටින විට පුද්ගලයා උද්‍යෝගීමත්ය එමෙන්ම ශක්තිමත් ශරීරයකට හිමිකම් කියයි. නමුත් කුජ දුර්වල වීනම් ඒ තැනැත්තන් ඉතාම පහත් වැඩ වලට පොලඹවයි. මෙය විවාහයට ගැටලු කාරි තත්වයක් ඇති කරවන්නේ ලග්නයේ සිටින අඟහරු ග්‍රහයාට 7 වැන්න හා 8වැන්න සම්පූර්නයෙන් පෙනෙන නිසාය. 7 වැන්න විවාහස්ථානයයි. එමෙන්ම 8වැන්න කුටුම්භ ස්ථානයක් ලෙස සැලකේ. මේ නිසා කඩාකප්පල් කාරි කුජ ග්‍රහයාට එම ස්ථාන දෙකට බලපෑම් කිරීමේ හැකියාව පවති. කුජ 1 දුර්වල වීමෙන් ඇතිවන පහත් වැඩ කිරිමට ඇති පෙලඹවීම නිසා අනවෂ්‍ය සම්බන්ධ කම් වල පැටලී විවාහයට හානි කර ගනියි.

කුජ 2
දෙවැන්න යනු අනෙක් කුටුම්බස්ථානයයි (කුටුම්බය යනු පවුලයි ). එමෙන්ම 7වැන්නේ සිට 8වැන්නයි. ලග්නයෙන් තමන් ගැනද එතන සිට අටවැනි කොටුවෙන් තමන්ගේ මරණය ගැන කියවෙන්නාසේ. 7 වැන්නෙන් විවාහය ගැනද. එතැන් සිට අටවැන්න හෙවත් දෙවන කොටුවෙන් විවාහයේ මරණය හෙවත් විවාහය බිඳවැටීම ගැනද කියවෙයි.  කුජ යනු සාමන්‍යයෙන් කාමාෂාවන්ගෙන් අධික ග්‍රහයෙකි. එමෙන්ම් විනාෂකාරී ග්‍රහයෙකි. කුටුම්භස්ථානයට පැමිනි කුජ ඔහු හෝ ඇයව වරදට පොලඹවයි එමෙන්ම දෙවැන්නේ සිටින අඟහරුවා සහකරුගේ ජීවිතය නැතිකර හෝ විවාහය බිඳ දමයි යනුවෙන් පොතපතේ සඳහන්ය.. මෙසේ විමට නම් කුජ දුර්වල විය යුතුය

කුජ 4
හතරවැන්න සිත සම්බන්ධ තැනයි. මෙහි සිටින අඟහරු ග්‍රහයාට හත්වැන්න සම්පූර්නයෙන්ම පෙනෙයි.
මේ නිසා විවාහ දෝශ ඇති කරවයි. නිතර පවුල තුල රන්ඩු සරුවල් ඇති කරයි. හතර වැන්න අඟහරුට අයත් රාශියක්වී එහි අඟහරු හා රාහු යන දෙදෙනාම සිටීනම් කේන්ද්‍ර හිමියා සියදිවි නසාගැනීමට වුවද පසුබට නොවන තරම් දැඩි හිතක් ඇත්තෙකු බව සඳහන්ය.

කුජ 7
කුජ දෝෂයේ වඩාත්ම ප්‍රචලිත දෝෂය වන්නේ මෙයයි. බොහෝ දෙනා බිය වුවත් මෙම පිහිටීමේද නරක හා හොඳ යන දෙවර්ගයම ඇත. අඟහරු සිටින තැනට අදාල ප්‍රධාන දේට හානි පමුනුවන ග්‍රහයෙකි. 7වැන්නෙන් කියවෙන්නේ බිරිඳ හෝ සැමියා ගැනය. එවිට එයට කුජ හානි කල යුතුය. නමුත් හෑම විටම මෙය මෙසේ සිදුනොවේ. කුජ උච්චව සිටීනම් එවැනි හානි පමුනුවන්නේ නැත. කුජ 7 සිටින කාන්තාව සැමියාට ඉතා ලැදිය. එමෙන්ම නියම ස්ත්‍රි හැඩ තල ඇති දුටුවන් සිත් වෂීකරවන සිරුරකට හිමිකම් කියයි. ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් නැතිව කුජ 7 වැන්නේ නීච නම් හඳහන් ගලපා නොබැන්දොත් විවාහය දික්කසාදයෙන් හෝ සහකරුගේ මරණයෙන් කෙලවර වේ.

කුජ 8
අටවැන්නටද කුජ දෝශය යෙදේ. ඒ අටවැන්නද කුටුම්භස්ථානයක් වන නිසාය. එමෙන්ම එහි සිටින කුජ ග්‍රහයාට අනෙක් කුටුම්භස්ථානය වන දෙවැන්නද පූර්න වශයෙන් පෙනේ. කෙසේ වෙතත් මෙය මාරක ස්ථානයයි. කුජ 7 වැන්නේ සිටිනවාට වඩා අටවැන්නේ වඩා නරක බව මගේ අත්දැකීමයි. කුජ සතුරුව හෝ නීචව 8වැන්නේ සිටින බොහෝ විවාහ කෙලවර වන්නේ දුර්වල හඳහන ඇති පුද්ගලයාගේ මරණයෙනි.

කුජ 12
වැයස්ථානයේ සිටින කල කුජ ග්‍රහයාට හත්වැන්න සම්පූර්නයෙන් පෙනේ. 12 වැන්නේ නරක්වී සිටින කුජ තමන් දෘෂ්ඨි දෙන හහ්වැන්නට අයත් ප්‍රධාන දේ වැය කර දමයි, ඒ තමාගේ සහකරුයි. එවිට සිදුවන්නේ සහකරුව තමාගෙන් ඈත් කරවීමයි, එනම් 12 වැන්නේ සිටින කුජ බොහෝවිට කසාදය දික්කසාදයකින් කෙලවර කරයි. එමෙන්ම 12 වැන්න යනු 7 වැන්නේ සිට ගැනගෙන යන කල 6 වැන්නයි. එනම් විවාහයේ සතුරු හා රෝගස්‍ථානයයි මෙයද 12 වැන්නේ සිටින කුජ විවාහය කඩා ඉහිරවීමට එක හේතුවකි.තවද කුජ 12 වැන්නේ නරකට සිටීනම් තමාගේ පියාගේ සහෝදරයන් සමගද හොඳ සම්බන්ධ කමක් තියා ගත නොහැක.


කුජ දොශය දෙපත් නයෙක් මෙනැයි මා කලින් කී දෙය ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. කුජ සිටි පමනින් දෝෂය ඇතැයි සිතා හන්ඳහන් ගලපන්නට යාම අනුවන කමකි. උදාහරනයක් ලෙස මකර ලග්නයෙන් උපන් කුජ ලග්නයේ ඇති කෙනෙක් යැයි සිතමු ඔහුට කුජ දෝශයක් නැති තරම්ය. එයට හේතුව කුජ උච්ච වීමයි. නමුත් මෙය දැක වැරදි නිර්නයකට බැස තවත් මකර ලග්න කුජ 7 තිබෙන හඳහනක් ඇති අයෙකුට විවාහ වූවායැයි සිතමු එවිට මෙම විවාහය පවත්වාගත නොහැක. එයට හේතුව මකර ලග්නයේ සිට හත්වැන්න වන කටකයේදී කුජ නීච වීමයි. එවිට මෙම කුජ දෝෂය දරුනුවටම යෙදේ. එවිට තත්වය කුජ දෝෂය ඇති කෙනෙක් එම දෝෂය නැති කෙනෙක් හා විවාහ විමට සමානය.

කුජ දෝෂය තිබේ නම් විසෙන් විස නසන්නා සේ තවත් දෝෂයක් සහිත හඳහනක් සෙවීම වඩා උචිත වේ. නමුත් කුජ දෝෂය ඇති අයට කුජ දෝෂයම ඇති හඳහනක් සෙවිය යුතුයැයි  වැරදි මතයක් සමාජ ගතවී තිබේ. මේ ඇරුනු කොට මෙම දෝෂය ඇති අයට හඳහන් ගැලපිය හැකි තව බොහෝ ක්‍රම වේ, ඒ අතරින් ශනි හත්වෑන්නේ තිබෙන හඳහනක් ගැලපීම එක ක්‍රමයකි. හතට දිග්බල ශනි කිසි කලෙක විවාහය කඩන්නේ නැත. එමෙන්ම හත්වැන්නේ රාහු සිටින හඳහනක් ගැලපීම තවත් ක්‍රමයකි. හතේ රාහු හතේ කුජ සිටිනවට වඩා නරකය. නමුත් එය නිසි ආකාරව ගලපා නොගත්තොත් කුජ හතේ සිටින කෙනා ඉක්මනින් මිය යන බව පෙනෙන්නට ඇත. මේ සියල්ල  හා සමාන සාර්ථක තවත් ක්‍රමයක් ඇත එනම් ගුරු 7 සිටින හඳහනක් ගැලපීමයි.. මෙය විසෙන් විස නසන ක්‍රමයක් නොව විස ගිතෙල් දමා සමනය කිරීමකට සමානය.

කුජ දෝෂය ගැන යම් වැටහීමක් ඇතැයි සිතමි. මෙය කියවූ ඔබ දැන් කුජ සම්බන්ධව සියලු කරුනු දන්නවායැයි අදහසක් ඇති කර ගැනීම වැරදිය. කුජ ග්‍රහයා ගැන ලියනවා නම් පිටු හාරපන්සීයක පොතක් වුවද ලියා අවසන් කලනොහෑකි  තරම් බව සිහි තබාගත යුතුය. 




වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Tuesday, January 21, 2014

විවාහය -3


විවාහය කියන මාතෘකාව යටතේ කලින් ලිපි දෙකක්ම මම පල කලා. ඒකට අදහස් දක්වපු ගොඩ දෙනෙක් මට කිව්වේ සැමියාගේ හෝ බිරිඳගේ අනියම් සම්බන්දකම් නිසා ගොඩක් විවාහ බිඳ වැටෙන බවයි.. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ දැඩි කාම ආශාවන්ගෙන් යුතු කෙනෙක්ට අඩු ආශාවන්ගෙන් යුතු කෙනෙක්ව මුන ගැහුනම.. අපි යෝනි පොරොන්දමෙන් බලන්නේ අන්න ඒ දේ තමයි.. මීට අමතරව වෙනත් ග්‍රහ බලපෑම් හා ග්‍රහ යෝගත් බල පානවා.. කොහොම වෙතත් මේ වගේ අනියම් සම්බන්ධ කම් වලට පොලඹවන යම් යම් ග්‍රහබලපෑම් කීපයක් ගැන අද අපි බලමු.. 
ඊට කලින් ග්‍රහ දෘශ්ඨි හා හත්වෑන්නාදිපතීන් ගැන අවබෝධයක් තිබුනොත් හොඳයි කියලා මම හිතනවා. මෙන්න මෙතනින් ගිහින් ග්‍රහ දෘශ්ඨි ගැන බලලා එන්නකෝ..

හත්වැන්නාධිපතීන්
ලග්නය   7 අධිපති
මේෂ      - සිකුරු
වෘෂභ     - කුජ
මිතුන     - ගුරු
කටක     - ශනි
සිංහ       - ශනි
කන්‍යා    - ගුරු
තුලා       - කුජ
වෘෂ්චික  - සිකුරු
ධනු        - බුධ
මකර      - සඳු
කුම්බ     - රවි
මීන        - බුධ


  1. හඳහනේ 6,8 හා 9 යන ස්ථාන තුනේම පාප ග්‍රහයන් පමනක් ( අව සඳු , රවි, කුජ. ශනි. රාහු, කේතු ) සිටීනම් හෝ පාපයන් ගෙන් පමනක් දෘශ්ඨි වැටේ නම් එම හඳහන හිමි ස්ත්‍රිය සැමියා කොතරම් සැප දුන්නත් පරදාර සේවනයේ යෙදෙයි..
  2. සිකුරු ග්‍රහයා හෝ හත්වැන්න අධිපති ග්‍රහයා රාහු හෝ කේතු සමග සංයෝගව සිටීනම් හා පාප ග්‍රහයන්ට පෙනේනම් එම තැනැත්තාගේ භාර්යාව අභිසාරිකාවකට සමානවෙයි. මෙම යෝගයෙන් උපන් පුර්ෂයාද සල්ලාලයෙක් වේ..
  3. කුම්භ ලග්නයෙන් ඉපදී කුජ 5වැන්නේ සිටින පුර්ෂයා පරදාර සේවනයේ යෙදෙයි.
  4. පාප ග්‍රහයන් ගෙන් පීඩිත සෙනසුරු 4 වැන්නේ සිටීනම් හා ශුභ ග්‍රහයෙකුගෙන් (පුර සඳු, බුධ,සිකුරු,ගුරු) දෘශ්ඨියක් හෝ නොවැටේනම් ජන්මියා ලඟම ඥාතියෙක් සමග වරදෙහි යෙදෙයි.
  5. 7වැන්නේ චන්ද්‍රයා, කුජ හා ශනි සිටින බිරියත් සැමියාත් යන දෙදෙනාම අනාචාරයේ හැසිරෙති.
  6. 2,7,හා 10 අධිපතියන් 7වැන්නේ සංයෝගව සිටීනම් ඒ තැනැත්තා කාමුකයෙකි. පර අඹුවන් සොයා යයි.
  7. පාප ග්‍රහයන්ගෙන් පීඩිත සදු හෝ සිකුරු 9වැන්නේ සිටී නම් තම ගුරුවරිය හෝ ගුරුවරයා පවා අමතක වන තරමට කාමය උත්සන්නවෙයි.
  8. නවාංශකය තුලා වෘෂභ හෝ කුම්භ වී සිකුරුට අයිති නවාංශකයක( වෘෂභ, තුලා) සෙනසුරුත්, සෙනසුරුට අයිති නවාංශකයක (මකර, කුම්භ) සිකුරුත් හිඳ ඒ දෙදෙනාම එකිනෙකා දකී නම් එම පිහිටීම ඇති තැනැත්තිය සමලිංගික සේවනයේ යෙදෙයි.


වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Thursday, January 16, 2014

විවාහය - 2

ගිය වතාවේ අපි මේ මතෘකාවට ආරම්භයක් ගත්ත නිසා වැඩිකාලයක් ගන්නේ නැතුවම මතෘකාවේ දෙවෙනි කොටසත් පල කරන්න හිතුවා. අද කථා කරන්න යන්නේ වාසනාවන්ත විවාහ ජීවිතයක් සඳහා යෙදෙන විශේශ ග්‍රහ පිහිටීම් 6ක් ගැන. මීට අමතරව තවත් ග්‍රහ පිහිටීම් ජ්‍යොතිෂයේ සඳහන් වුනත් මේ 6 ඒ අතරින් ප්‍රධාන වෙනවා..
මේ ග්‍රහ යෙදීම් ගැන ගැටලුවක් තිබේ නම් හෝ තවත් පැහැදිකලි කර ගැනීමක් අවශ්‍යනම් ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. මට පුලුවන් උපරිමයෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.


  • ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7වැන්නේ කේන්ද්‍රයේ 9වැන්නාධිපති සිටී නම් හෝ දෘෂ්ඨියක් දෙයි නම් ඔහුට හෝ ඇයට කරදරවලින් තොර යහපත්යුගදිවියක් ගත කිරීමට වාසනාව ඇති බව සඳහන්.
  • කටක ලග්න හිමියෙකු වී 7වැන්නේ කුජ හා ශනි සිටී නම් ඔහුට ලැබෙන බිරිඳ රූමත් කෙනෙක් මෙන්ම පතිනියකි..
  • 2,7 සහ 12 යන ස්ථාන වල අධිපතියන් කේන්ද්‍රස්ථාන ( 1 4 7 10 ස්ථාන ) හෝ ත්‍රිකෝනස්ථාන ( 1 5 9 ස්ථාන ) වල සිටියදී ගුරු ග්‍රහයා විසින් දැකීමද යහපත් විවාහ යෝගයකි..
  • කෙන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයාගෙ සිට එම ග්‍රහයා සිටින කොටුව 1යැයි ගනන් කරගෙන යෑමේදි 2, 7, හා 11 වැනි කොටුවල ශුභ ග්‍රහයින් ( පුර සඳු, බුධ, සිකුරු, ගුරු) සිටීම යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට හේතුවන යෝගයකි..
  • 5 වැන්න හා 7වැන්න අධිපතියන් බලවත් වී සිකුරු හා 7වැන්නාධිපතියා ඔවුන්ට ශුභ රාශියක සිටි නම් යහපත් දරුපල හා යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබේ..
  • ගුරු 7 වැන්නේ සිටිම (  භාදක ස්ථානාදිපතියෙකු නොවීය යුතුයි )



වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Saturday, January 11, 2014

විවාහය - 1



අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා දෙයකි. මොකක්ද මේ පොරොන්දම් කියන්නේ? ඇයි පොරොන්දම් ගලපලත් විවාහ දෝශ ඇතිවෙන්නේ? මෙවැනි අවස්ථා වල බොහෝදෙනා කරන්නේ සරලම පහසුම දේ කිරීමය එනම් ජ්‍යොතිෂය යන විෂයට බැන වැදීමයි.. 

එවන් අවස්ථා වලදී මට ඇත්තේ එක ප්‍රශ්නයකි එනම් වෛද්‍යවරයෙක් වෙතට යන මිනිසෙකුට වෛද්‍යවරයා වැරදි රෝග නිර්නයක් දුන්නොත් එවිට කරන දේය? සමහර විට වැරදි බෙහෙත් ලබාදීම නිසා රෝගියා මියයන අවස්ථාද ඇත. අතපසුවීම් නිසා හොඳට තිබූ අතපය නැති වූ රෝගීන් ගැන අප අසා ඇත්තෙමු. එවැනි වෙලාවලදී මිනිසුන් දොස්තරට මිස වෛද්‍ය වෘතියට දොස් කියන්නේ නැත.. නමුත් මිනිස් ජීවිතයක් නැති කරන අත්වැරදීම් දෛවඥයන් අතින් වෙන්නේ නැත. නමුත් එක අනාවැකියක් ජ්‍යොතිෂ වේදියෙක් අතින් වැරදුනොත් එදාට ලංකාවේ සියලුම දෛවඥයන් බැනුම් අසති ඔවුන් බනින්නේ විෂයටය.. මේ දේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටද අත්දකින්න සිදුවී ඇති දෙයකි.. වරක් දෙවරක් බෙහෙත් බොනවිට රෝගය සනීප නොවුනොත් අයුර්වේද ක්‍රමයම වැඩක් නැති සේ මිනිසුන් පරිභව කරයි.. ඒ අපේ මිනිස්සුන්ගේ කුහක කමය.. 
විවාහයක් කිරීමට ප්‍රථම පොරොන්දම් බැලීම පමනක් ප්‍රමානවත් දැයි මුලින්ම සලකා බැලිය යුතුය.. පොරොන්දම් යනු යමෙක් උපන් නැකැත මූලික කරගෙන ඔවුන්ගේ ගැලැපීම් නොගැලපීම් සොයන ක්‍රමයකි.. මෙහිදී ග්‍රහ බලපෑම් බැලුවත් මූලිකත්වය නැකතට හිමිවෙයි. නමුත් කෙනෙක්ගේ කර්මය ගැන වඩා හොඳ තීන්දුවකට බැසගත හැක්කේ ඔවුන්ගේ හඳහන් වල ග්‍රහපිහිටීම් දෙස බැලීමෙනි. උදාහරනයක් ලෙස අපි කවුරුත් දන්න කුජ දෝශය හෙවත් භෞම දොශය  ඇතිවන්නට හේතුව පෙර ආත්ම වල තම කාලත්‍රයාට ලිංගික පීඩා සිදු කිරීම හෝ බහුභාර්යා හෝ බහුස්වාමි සේවනයේ යෙදීමයි.. මෙවැනී තවත් දෝෂ කිහිපයක් වෛදික ජ්‍යොතිශයේ සඳහන් වන අතර එවායින් බොහෝමයක් පොරොන්දම් වලට හසු නොවේ.. එයින් පොරොන්දම් බැලීම අනවශ්‍ය යැයි අදහස් නොකෙරේ.. උදාහරනයකට යෝනි පොරොන්දමෙන් බලන්නේ දෙදෙනාගෙ ලිංගික තෘප්තිමත් වීමේ ස්වාභාවයයි.. දැඩි ලිංගික ආශාවන් ඇති පුර්ෂයෙක් හට එවැනි ආශාවල් අඩු කාන්තාවක් හෝ අඩු ආශාවන් ඇති පුර්ෂයෙක්ට වැඩි ආශාවන් ඇති කාන්තාවක් හමු වුවහොත් ඇතිවන තත්වය මඳක් සිතා බලන්න.. බොහෝවිට වැඩි ආශාව ඇති කෙනා පරදාර සේවනයට යොමු වෙයි.. අනෙක් කෙනා ආශාවන් අඩුනිසා තමා කාමාතුරයෙක්ට අසුවුන බවක් හැඟෙයි.. මේ හේතුව නිසා විවාහ ගැටලු ඇතිවෙයි.. විවාහ දෝෂ, යහපත් විවාහ යෝග, ස්වාමියාට සැප සම්පත් ගෙනදෙන යෝග මෙන්ම ස්වාමියාට මාරක යෝග ගැනද කතිකා කරන ලිපි පෙලකින් ඉදිරියේදි හමුවෙමු...

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Wednesday, January 1, 2014

අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්


ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී තේරෙන භාෂාවෙන් කියනවනම් සූර්ය්‍යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමනය වෙන වෙලාවේ කියලයි මගේ පිලිගැනීම.. කොහොම නමුත් අපි පොදුවේ ජූලියන් ක්‍රමයට ජනවාරී 1වනදා  අවුරුද්ද විදිහට සලකන නිසා ජීවිතේට අලුත් ආරම්භයක් ලබාගන්න අලුත් ගමනක් ආරම්භ කරන්න මේ දිනය යොදා ගැනීම කිසිම වරදක් නෑ..
ඉතින් අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා ඔයාල මුන ගැහෙන වෙලාවේ හිස් අතින් එන එක හරි නැති නිසා ඔයාලට පුංචි තෑග්ගක් දෙන්න කල්පනා කලා.. 
මේක ශබ්ධ විද්‍යාවේ හාස්කම් පෙන්නන බලගතු මංත්‍රයක් 108 වරක් ජපකරන්න ඔනේ සිද්ධි වෙන්න. මම මේක පාවිච්චි කරන්නේ 1008 වරක් මතුරලා. එහෙම කරන්න පුලුවන්නම් වඩා ප්‍රථිඵල දායකයි. මේකෙන් තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන ධන ලාබ ලැබෙන හැමෝගෙම ආකර්ශනය ලැබෙන බව අත්දුටුයි..

ඕං ශ්‍රීං ඕං හ්‍රීං ශ්‍රීං හ්‍රීං ක්ලීං ශ්‍රීං ක්ලීං විට්ටේෂ්වරාය නමඃ

ඉතින් නැවත වරක් ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴