Friday, June 27, 2014

෴නීල මණ්ඩල යන්ත්‍ර෴

ශනි ග්‍රහයා අසුභ පල දෙන ග්‍රහයන් අතර ඉස්සරහින්ම ඉන්න ග්‍රහයා කියා මා කිව්වොත් කවුරුත් ඊට විරෝධය පාන එකක් නෑ. ඒ නිසාම ජ්‍යොතිෂ ගැන යම් දැනුමක් තියන ඕනම කෙනෙක් ශනිග්‍රහයා ගැන විශේෂ සැලකිල්ලක් හා ඔහුට තරමක අකමැත්තක් දක්වනවා. සමහරු ශනි ග්‍රහයා ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න අතර සමහර ඇත්තන් ඒ බියෙන් ප්‍රයෝජන ගන්නවාත් මා පුද්ගලිකවම දැක තිබෙනවා. 

කොහොම නමුත් ශනි ග්‍රහයාගේ අපල වල තියන කරදරකාරි ගතිය හා සිදුවන හානිය නිසාම ශනි අපල සඳහා ඉතා විශාල යන්ත්‍ර සංක්‍යාවක් නිර්මානය වෙලා තිබෙනවා. මේ අතරින් ශනි මෘතුන්ජය හා නීල මණ්ඩල කියන යන්ත්‍ර කාන්ඩ දෙක විශේෂයි. බොහෝ දෙනා සිතා සිටින්නේ මේ නමින් ඇත්තේ හුදෙක් යන්ත්‍ර දෙකක් පමනක් බවයි. නමුත් මේ නම් වලින් යන්ත්‍ර කාන්ඩ දෙකක්ම ඇති අතර. මේ අතරින් නීල මණ්ඩල කාන්ඩය ගැන අපි අවධානය යොමු කරමු.

01.



නීල මණ්ඩලය නමින් බොහෝ දෙනා දන්නේ මේ යන්ත්‍රයයි.  මේ යන්ත්‍රය සෙනසුරුගේ ඒරාෂ්ඨක වලින් මෙන්ම සෙනසුරුගේ බලපෑම නිසා එන යක්ෂ දෝෂ වැනි බාහිර දෝෂ වලින්ද ආරක්ෂාව ලබා දෙයි. නමුත් අන් ග්‍රහයන් කෙරෙහි බලපෑමක් නැත.

02.

ත්‍රී අක්ෂර නීල මන්ඩලය නමින් හැඳින්වෙන මෙම යන්ත්‍රයේ බලපෑම හුදෙක් ශනිග්‍රහයාට හා ඒ මගින් ඇතිවෙන සාමාන්‍ය ග්‍රහ අපල වලටය. 


03.

මහා නීල මණ්ඩලය නමින් හැඳින්වෙන මෙම යන්ත්‍රය ඉතා බලගතු එකකි. සෙනසුරු ග්‍රහයාගේ අරිටු දෝෂ භංග කරන අතරම. අනෙක් ග්‍රහයන්ගෙන් ඇතිවන සාමාන්‍ය අපල තත්වයන් සමනය කරයි. 


04.

විෂ්නු නීල මණ්ඩලය නමින් හඳුන්වන මෙය ගුරු මුෂ්ඨි නිසා අභාවයට ගිය එකකි. අනෙක් යන්ත්‍ර ලන්කාවේ භාවිතාවනු දක්නට ලැබුනත් විෂ්නු නීල මණ්ඩලය දක්නට නොලැබෙන තරම්ය. ඉතාමත් බලගතු යන්තරයක් වන මෙය සියලුම දරුනු ශනි අපලවලට භාවිතා කල හැක. නමුත් සුලු සුලු අපල වලට බැඳිම සුදුසු නැත.


මේ සියලූම යන්තර 23000 වාරයක් ජප කල යුතු අතර අවමය 2300කි. (ශනිට අදාල ජප සංක්‍යාව 23000කි) මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් ඇත, එනම් මේ යන්තර වලින් කෙරෙන කාර්යය එකින් එකට වෙනස් වන අතර ආවාට ගියාට යන්තර දැමීම සුදුසු නැති බවයි. විශාල අපල ඇති තැනකට සුලු බලයක් ඇති යන්තර දැමීමත් සුලු අපලයක් ඇති තැනකට විශාල බලයක් ඇති යන්තර දැමීමත් නිසා යන්තරයේ නිසි පල ලබාගැනීමට නොහැකි වී සියල්ල උඩුයටිකුරු වී ඇදුරාගේ ශ්‍රමයත් ආතුරයාගේ මුදලුත් නිකරුනේ නාස්තිවී ගිය අවස්ථා සමාජයේ බොහෝය, තමා පලඳින යන්තරය ගැන දැනුවත් වීමට යන්තරය පලඳින්නට අයිතියක් ඇති අතර ඒ පිලිබඳව දැනුවත් කිරිම ඇදුරාගේද යුතුකමකි.


වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

Thursday, June 19, 2014

නිර්ධන යෝග

ජිවිතයේ බොහෝ මහන්සි වුනත් කිසි දිනක දුප්පත් කමෙන් ගොඩ ඒමට බැරි වූ අය ඔබ දැක ඇතුවාට කිසිම සැකයක් නෑ. අතගසන අතගසන වැඩ අසාර්ථක වී ප්‍රපාතයෙන් ප්‍රපාතයට වැටෙන පුද්ගලයන්ද අතගසන වැඩ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වී බිංදුවේ සිට ඉහලටම යන වාසනාවන්ත උත්සහවන්ත මිනිසුන්ගෙන්ද සමාජයේ අඩුවක් නැත. කෙසේ වෙතත් නිර්ධන යෝග යටතේ අද කථා කරන්නට බලාපොරොත්තු වන්නේ මෙහි මුලින් සඳහන් කල කොටස ගැනය.



01. යම් කෙනෙකුගේ ලග්නාධිපති, හතර වැන්න අධිපති, නමවැන්න අධිපති ග්‍රහයන් කේන්ද්‍රයේ අට වැන්නේ සංයෝගව සිටීම දිලින්දෙක් බිහිකරන යෝගයකි.

02. යම් හඳහනක දෙවැන්න හා දොලොස් වැන්න අධිපති ග්‍රහයන් පරිවර්ථනය වීම ( 2 අධිපති 12 වැන්නේත් 12 අධිපති 2 වැන්නේත් සිටීම) දිලින්දෙක් බිහි කරන යෝගයකි.

03. දෙවැන්න අධිපතියා දොලොස් වැන්නේද දොලොස් වැන්න අදිපතියා මාරක ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් සහිතව ලග්නයේද සිටිම දිලින්දෙක් බිහිකරන තවත් යෝගයකි. මෙහිදි මාරක ග්‍රහයන් ලෙස භාවාර්‍ථ රත්නාකරයේ සඳහන් වන්නේ මාරක ස්ථාන වන දෙවැන්න හා හත්වැන්න අධිපති ග්‍රහයන්ය.

04. යම් හඳහනක පස්වැන්න අධිපතියා හය වෑන්නේද, නම වැන්න අධිපතියා අට වැන්නේද සිට නම වැන්න අධිපතියාට මාරක ග්‍රහයෙක් දෘෂ්ඨි හෙලයි නම් ඔහු දිලින්දෙක් වන්නේය කියා පැරනි පොත පතේ සඳහන්ය. යෝග හතරෙන්ම මේ යෝගය වඩා බලවත් වන බව මගේද පෞද්ගලික හැඟීමයි. 

මෙවැනි බලවත් නිර්ධන යෝග හඳහනේ නොතිබුනත් දුර්වල හා පාප දෘෂ්ඨි ලැබූ, ධනස්‍ථානාධිපතින්ගේ මහදසා අන්තර්දසා කාලවලදී ආර්ථික අපහසුතා ඇතිවන බවත් යහපත් දෘෂ්ඨි ලැබූ බලවත් ධන්ස්ථානාධිපතින්ගේ කාල වල ආර්ථිකය යහපත් වෙන බවත් පෙනේ.


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න

Sunday, June 8, 2014

ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02


ගිය වතාවේ අපි ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන කථා කලා මතක ඇති. (මතක නැත්තන් මෙතනින් ගිහින් බලන්න.) මෙවර දෙවෙනි කොටස යටතේ තවත් වැදගත් දෙයක් ගේන්නයි බලාපොරොත්තුව. අද කියන්න යන්නේ කාරක ග්‍රහයන් ගැන. සමහර විට ඔයාලා අහලත් ඇති ජ්‍යොතිෂ ගැන කථාවෙන තැන් වල මාතෘකාරක ආත්ම කාරක කියලා කියවෙනවා. ඉතින් මොකක්ද මේ කාරකයන් කියන්නේ? ජෛමිනි ක්‍රමයේදී මේ ග්‍රහයන් තෝරන්නේ ඒ ඒ ග්‍රහයන් රාශියක සිටින අංශක ගනන අනුවයි. අපි දැන් එකින් එක මේ කාරකයන් ගැන බලමු.



ආත්ම කාරක
ජන්ම පත්‍රයේ වැඩිම අංශක ගනනක් ලබාගෙන සිටින ග්‍රහයාට ආත්ම කාරකයා කියා කියනවා. ග්‍රහයන් දෙදෙනෙකුගේ අංශක සමාන නම් කලා ප්‍රමානද කලා ප්‍රමානත් සමාන නම් විකලා ප්‍රමානද සලකා බලා වැඩි අගය ඇති ග්‍රහයා ආත්ම කාරකයා විදිහට ගන්නවා. යම් හේතුවක් නිසා මේ ඔක්කෝම සමාන නම් උච්ච, ත්‍රිකෝන විදිහට වඩා බලවත් ග්‍රහයා තෝරාගන්නවා. මේ ග්‍රහයා ජන්ම පත්‍රයේ උච්චව, ස්වක්ශේත්‍රව හෝ සුභ ග්‍රහ දෘශ්ඨි ලබා බලවත්ව ඉන්නවා නම් සැපතට අධිපතියා ලෙසත් නීචව හෝ පාප දෘෂ්ඨි ලබා ඉන්නවනම් දුකට අධිපතියා ලෙසත් සලකනවා. යහපත් සිදිහට පිහිටි ආත්ම කාරකයා  ඔහුගේ දසා අන්තර් දසා කාල වලදී අනෙහ් ග්‍රහ දෝෂ වලින් පවා ජන්මියා මුදා ගන්නා බවත් නරක විදිහට පිහිටපු ආත්ම කාරකයාගේ දසාවේදී ජන්මියාව පාපයට පොලඹවලා දුකට පත් කරන බවත් ජෛමිනි සෘෂිවරයා ලියපු ජෛමිනී සූත්‍රය කියන පොතේ සඳහන් වෙනවා.

අමාත්‍ය කාරක
ආත්ම කාරකයාට පසුව වැඩිම අංශක,කලා,විකලා ප්‍රමානයක් ලබාගෙන සිටින ග්‍රහයා අමාත්‍ය කාරකයා ලෙස හඳුන්වනවා. යම් ග්‍රහයො දෙන්නෙක් ගේ අංශක කලා සමානම් කලින් වගෙම බලවත් ග්‍රහයා තෝඅරා ගන්න ඕන.  ආත්ම කාරකයා ජන්මපත්‍ර හිමියා ගැන පැවසුවා වගේ අමාත්‍ය කාරකයා පවසන්නේ ජන්මියා හා රජු, රජය හෝ ප්‍රභූන් සමග ඇති සම්භන්ධ කම. 
අමාත්‍ය කාරකයා උච්ච හෝ සුභ දෘෂ්ඨි ලබා ඉන්නවනම් ඒ දසා අන්තර් දසා කාලවලදී ප්‍රභූන් ගෙන් සැප ලැබෙන අතර අමාත්‍ය කාරකයා නීචව හෝ පාප පීඩිත නම් අමාත්‍ය කාරකයාගේ දසා අන්තර් දසා කාල වලදී ප්‍රභූන් ගෙන් ඇමතිවරුන් ගෙන් කරදර සිදුවෙනවා.

භ්‍රාතෲ කාරක (සහෝදර කාරක.)
අමාත්‍ය කාරක ලඟට වැඩිම අංශක ගනනක් තියන ග්‍රහයා සහෝදර කාරකයා. මෙයාගේ දසා අන්තර් දසා වලදී සහෝදරයන්ට සුභ අසුභ පල ලැබෙනවා. කලින් වගේමයි ග්‍රහයා බලවත් නම් සුභ පල ග්‍රහයා දුර්වල නම් අසුභ පල. ඒ වගේම සහෝදරයන්ගෙනුත් ජන්මියට ලැබීම්  හෝ පාඩු මේ ග්‍රහයගේ තත්වය අනුව ලැබෙනවා.

මාතෲ කාරක
මව ගැන තොරතුරු බලන්න පුලුවන් මේ මාතෲ කාරකයගෙන් සහෝදර කාරකයට පස්සේ ඉන්නේ මාතෲ කාරකයා.. 

පීතෲ කාරක
ඊලඟට ඉන්නේ පීතෲ කාරක, පියා ගැන විස්තර බලන්න පුලුවන් පීතෲ කාරකගෙන්. මෙයා බලවත්ව ඉන්නවනම් දසා වලදී පියාට බොහොම යහපත්..

පුත්‍ර කාරක
පිලිවෙලින් ඊලඟට ඉන්නේ පුත්‍ර කාරකයා. මෙයාගේ තත්වය අනුව මෙයාගේ කාල වලදී දරුවන්ට සුභ අසුභ පල ලැබෙනවා.

ඥාති කාරක
ඥාති කාරකයා බලවත් නම් ඒ දසා වලදී ඥාතීන්ගෙන් ලැබීමත් ඥාති කාරකයා දුර්වල නම් ඥාතීන්ගෙන් කරදරත් සිදු වෙන්න පුලුවන්

භාර්‍ය්‍යා කාරක
අන්තිමට  ඉතුරු වෙලා ඉන්න ග්‍රහයා තමයි භාර්‍ය්‍යා කාරකවෙන්නේ. බිරිඳ ගැන විස්තර මෙයාගෙන් බලාගන්න පුලුවන්.

විශේෂ
කාරකයන් තෝරා ගැනීමේදී කේතු ග්‍රහයා සලකන්නේ නෑ ප්‍රධාන ග්‍රහයන් 7 දෙනයි රාහුයි විතරයි සලකන්නේ.

අපි පුන්චි උදාහරනයක් බලමු.

යම් හඳහනක ග්‍රහයන්ගේ අංෂක ගනන් පහත පරිදි කියලා හිතමු

රවි -  අංශක 15 කලා 25
සඳු - අංශක 26 කලා 12
කුජ - අංශක 14 කලා
බුධ - අංශක 15 කලා 29
ගුරු - අංශක 6 කලා 10
සිකුරු - අංශක 00  කලා 20
ශනි - අංශක 20 කලා 07
රාහු - අංශක 8 කලා 29

අපි දැන් බලමු මේ අය මොන මොන කාරකයන්ද වෙන්නේ කියලා

සඳු - අංශක 26 කලා 12 -- ආත්ම කාරක
ශනි - අංශක 20 කලා 07 -- අමාත්‍ය කාරක
බුධ - අංශක 15 කලා 29 -- සහෝදර කාරක
රවි -  අංශක 15 කලා 25 -- මාතෲ කාරක
කුජ - අංශක 14 කලා 20 -- පීතෲ කාරක
රාහු - අංශක 08 කලා 29 -- පුත්‍ර කාරක
ගුරු - අංශක 06 කලා 10 -- ඥාති කාරක
සිකුරු - අංශක 00 කලා 20 -- භාර්‍ය්‍යා කාරක

මම හිතන්නේ කට්ටියට දැන් පැහැදිලි ඇති. ඊලඟට කාරකාංෂය ගැන අපි තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ජය හා සතුට...



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න