Saturday, October 8, 2022

පිලිකාව හඳහනෙන් හඳුනාගත හැකිද?


 ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ 


පිලිකා රෝගය සෛල මුල් කරගෙන හැදෙන රෝගයක් බව අපි කවුරුත් වගේ දන්නවා. යමෙක්ට මේ රෝගය වැලඳුනොත් ඒ පුද්ගලයා ශාරීරිකව වගේම මානසිකවත් වෙදනාවට පත් වෙන බව නොරහසක්. රෝගය කලින් හඳුනාගැනීම රෝගය පරාජය කිරිමට ඇති හොඳම අවස්ථාව බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඉතින් අපිට පුලුවන්නම් මේ අවධානම හඳහනෙන් කල් තියා දැනගන්න, මේ සම්බන්ධව පර්යෙෂනයක් කරවගන්න එහෙමත් නැත්තන් ශරීරයේ වෙනස් කමක් ඇතිවුනොත් සාමාන්‍ය අවස්ථාවකට වඩා ඉක්මනින් මේ ගැන සොයා බලන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි හැරෙමු මාතෘකාවට

පිලිකාවක් කියන්නේ ශරීරය ඇතුලේ අනවශ්‍ය සෛල වර්ධනය වීමක්. මේ තත්වය ඇතිවෙන්න පුලුවන් මොන ග්‍රහයන් නිසාද සහ මොන ග්‍රහ තත්වයන් නිසාද කියලා සොයා බලනකොට අපිට මුලින්ම හමුවෙන්නෙ ව්‍රන යෝගය. පිලිකාවට කියලා කෙලින්ම නොකිව්වට ව්‍රන යෝගය කියන යෝගය නිසා ශරීරයේ විශ වර්ධනය වීමක් සිදුවෙන බවයි සඳහන් වෙන්නෙ. ඒ කියනේ යමෙකුගේ හඳහනේ ව්‍රන යෝගය සටහන් නම් ඒ පුද්ගලයට පිලිකාවක් ඇතිවිමේ අවධානම ඉහලයි. අපි එහෙනම් කොහොමද මේ ව්‍රන යෝගය සකස් වෙන්නේ කියලා බලමු.

හයවැන්න එහෙමත් නැත්තන් රෝග ස්ථානය අධිපති ග්‍රහයා කෲර ග්‍රහයෙක් වෙලා ඒ ග්‍රහයා ලග්න භාවයේ අටවැන්නේ හෝ දසවැන්නේ තැම්පත් වෙනවනම් ව්‍රන යෝගය යෙදෙනවා. (මේ යෝගය වෘෂ්චික ලග්නයට බලපාන විදිහ ගැන පොඩි වෙනසක් තියනවා ඒක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ධ වෙන නිසා ඒ මාතෘකවට අදාල ලිපිය ලියනකොට පැහැදිලි කරන්නම්) මේ ව්‍රන යෝගය කියන්නේ අවධානම පෙන්වන එක යෝගයක් විතරයි. මීට අමතරව කුජ හා චන්ද්‍රයා රවි සමග තමන්ගේ හඳහනේ හයවැන්න අධිපති ග්‍රහයා සමග සංයෝග වීමත් පිලිකා අවධානම පෙන්වන පිහිටීමක්. ගුරු ශනි හා කේතුගේ සංයෝගයත් අවධානම පෙන්වන තවත් එක් පිහිටීමක්. 


මේ පිහිටීම් වගේම හඳහනේ ගුරුගේ දුබලතාව පිලිකා අවධානම වැඩි කරනවා. ඒ වගෙම රාහු ග්‍රහයාව සමහර අවස්ථාවලදි සලකන්නේ පිලිකා කාරක ග්‍රහයා කියලා පිලිකාවක් ගැන නිගමනයකට එන්න කලින් අනිවාර්යයෙන් බලන්නම ඕන ග්‍රහයෙක් රාහු. 

ඉතින් යන්න කලින් පොඩි කතාවකුත් කියලම යන්නම් ඔය රාහුයි ගුරුයි තමයි ගුරු චන්ඩාල යෝගය හදන්නේ. ලංකාවේ ප්‍රසිද්ධ දේසපාලකයෙක් ඉනවා ඕක තියන.. මිනිහගෙ හඳහනේ ඔය යෝගය නිසා මිනිහා ගහපු ගේම් කාටවත් හොයන්න බැරිවෙන්න ගහන්න මිනිහට පුලුවන් වුනා.. ඔය යෝගේ හැටි එහෙමයි, මේක තියන අය අහු නොවෙන්න හොරකම් කරන්න දක්ෂයි. නමුත් කොච්චර පොරක් වුනත් මිනිහට ඔය ගුරුයි රාහුයි සම්බන්දේ නිසා අවසානයේදි පිලිකාවක් හැදුනා. ඒක ඉතින් කර්මය. කියන්න ඕන වුනේ හඳහනේ ගුරුවයි රාහුවයි සැහැල්ලුවට ගන්න එපා.. ගුරුත් නරකට හිටියොත් උපරිම නරකයි.

තවත් ලිපියකින් හමු වෙනකන් සුභ අනාගතයක්..


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166

Monday, August 29, 2022

රාහුට ඔලුවක් නැද්ද?


ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ  


අපෝ රාහු ලබලා නේද? දැන් ඉතින් රාහු වගේම ඔලුවක් නැති වැඩ කරයි මේ ළමයා. 

රාහු ලබලා තියන්නේ නෝනා. ඔලුවක් නැති ග්‍රහයනේ, පිස්සුවෙන් වගේ හැමතැනම ඔහේ ඇවිද්දවයි.

බොහෝ ශ්‍රී ලාංකීය ජ්‍යෝතීර් වේදින් මෙන්ම කනින් කොනින් අසා ජ්‍යෝතිෂ සම්බන්ධ සුලු අදහසක් ඇති බොහෝ දෙනා රාහු දසාව ආරම්භ වීම හෝ රාහු ලග්නගයේ (ඔලුවේ) තැම්පත්විම දුටු විට මෙවැන්නක් පවසනවා ඔබ සමහරවිට අසා ඇත. රාහු ලැබූ අයවළුන් සාමාන්‍යයෙන් රිකක් වැඩිපුර ඇවිද්දවන කථාවේ යම් සත්‍යතාවයක් ඇතත් එය සිදුවන්නේ රාහුට ඔලුවක් නැති ස්වාභාවය නිසාදැයි දැනගැනිම වටී. රාහු සම්භන්ධව කියවෙන එකම දේ මෙම ඇවිද්ද විම නොවන අතර රාහු නිසා එම දසාවතුල ඇති කරවන චර්යාමය වෙනස්කම් හා ලැබීම් නොලැබීම් වෘතිය සම්භන්ධව රාහු විසින් කරන බලපෑම් ආදිය නිසා පලාපල කීමේදී රාහුගේ නියම ස්වාභාවය පිලිබඳව තේරුම්ගැනීම ඉතා වැදගත්ය.

රාහුගේ මේ හිස සම්භන්ද කතාව මුලින්ම අපට හමුවන්නේ සුර අසුර යුද්ධය හා බැඳි කතාවක් ලෙසය. එය සරලව සඳහන් කලොත් මෙසේය 

සුර අසුර යුද්ධයේදි කිරි සයුර කළඹා අවසානයේදී අමෘතය මතු විය සුරයන් එම අමෘතය අසුරයන් හට නොදී තනිවම පානය කිරීමට සැලසුම් කල අතර මේ සඳහා විෂ්නු දෙවියන් විසින් උපක්‍රමයක් යොදනු ලැබීය. ඔහු විසින් එක් භාජනයකට අමුර්තය දමා තවත් භාජනයකට ඊට සමාන තවත් පානයක් මවනු ලැබිනි. සුරයන්ට අමෘතය හා අසුරයන්ට අර අමෘතය නොවන අනෙක් පානය පෙවිමට සුදානම් කරන ලදි. මේ අසුරයන් අතර ස්වර්ණභානු නම් (ස්වර්ණභානු යනු රාහුට කියවෙන තවත් නමකි.) අසුර සෙන්පතියෙක් වූ අතර මොහු තික්ෂන නුවනක් සහිත කෙනෙක් විය. ඔහුට මෙම අමෘතය බෙදාදීම ගැන සැක සිතුන අතර ඔහු කාටත් හොරා සුරයන් අතරට ගොස් සිට අමුර්තය පානය කරන ලදි. නමුත් අවාසනාවට එකවරම මතු වූ ඉන්ද්‍ර විසින් මේ සුරයෙක් නොවන බව විෂ්නු දෙවියන්ට පැවසීමත් සමගම විෂ්ණු විසින් තම චක්‍රායුධයෙන් රාහුගේ හිස කඳින් වෙන් කල අතර රාහුගෙ මුඛයේ අමුර්තය තිබූ නිසා ඔහුගේ හිස කොටස පමනක් අමරනීය විය. මෙවැනි කතන්දර පැරන්නන් විසින් සෑම ග්‍රහයෙක් පිලිබඳවම නිර්මානය කර ඇති අතර එම කතන්දර වල අරමුන එම ග්‍රහයන්ගෙ ස්වාභාවයන් පිලිබඳව අවභෝදයක් ලබා දීමයි. මෙම කතාවට අනුව රාහු යනු මෝඩයෙක් නොවන බවත් සිදුවූ කුමන්ත්‍රනය වටහාගත් එකම අසුරයා බවත් පැහැදිලිය එමෙන්ම රාහු යනු හිසක් නොමැති කෙනෙක් නොව රාහු යනු හිසක් පමනක් බවද පාඨකයාට තේරුම් යනු ඇත.


මීට අමතරව ඉන්දියාවේ අදටත් රාහුව චිත්‍රයට නගන්නේ හිසක් පමනක් ඇති ආකාරයටය. (සමහර තැන්වල සර්ප ශරීරයක් සහිතව රාහු ඇඳ තිබෙනවා දක්නට ලැබේ) වේදීය ජ්‍යෝතිෂය තුල රාහු යනු තෘෂ්නාව අධිකම ග්‍රහයා ලෙස හඳුන්වන අතර සෑම දෙයක්ම බදාගැනිමට යාම නිසා කටයුතු වරද්දා ගන්නා ස්වාභාවය හා ඇවිද්දවන ස්වාභාවය ඇතිවන බව පොතපතේ සඳහන්ය. එමෙන්ම රාහු සතු මේ තීක්ෂන නුවන හමුදා හා පොලිස් බුද්ධි අංශ ආදියෙහි දක්ෂනය්න් බිහි කරයි. රාහු හිසක් නැති මෝඩයෙක් ලෙස සලකා පලාපල කිමෙදි එවැනි වැදගත් කරුනු මගහැරෙන්නට ඉඩ ඇති අතර වෘතිය සම්භන්ද පලාපල කථනයේදීද රාහුගේ නියම ස්වාභාවය නොදැන පලාපල කීමෙන් පලාපල අසන්නාත් කියන්නත් යන දෙදෙනාම අමාරුවේ වැටෙන්නට ඉඩ ඇත.


රාහු යනු හිසක් බවට හොඳම සාක්ෂිය
ක් බටහිර ජ්‍යෝතිෂය තුලින් හමුවේ එනම් ඔවුන් රාහුව Dragons Head (මකර හිස.) යන නමින් හැඳින්වීමයි. හිසක් නැතිනම් රාහුව ලෙස නම් කිරිම තේරුමක් නැති වැඩකි.



මේ නිසා මින් ඉදිරියට පලාපල කීමේදි රාහු යනු හිස නැති මෝඩයෙක් නොව තීක්ෂන ඥානයක් ඇති හිසක් පමනක් ඇති, තන්හාව අධික අසුරයෙක් (විනොදයට සුරාවට සූදුවට දුම්පානයට කැමති ලක්ෂන ඇත.) බව තේරුම් ගැනීම වටී.


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166


Tuesday, June 7, 2022

අඛන්ඩ සාම්‍රාජ් යෝගය


ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ  

 යෝගයේ යෙදීම

දුර්ලබව පිහිටන යෝගයක් ලෙස මෙම යෝගය හැඳින්විය හැක. මෙම යෝගය පිහිටීමට නම් ගුරු ග්‍රහයා හඳහනේ පස්වන හෝ එකොලොස්වන භාවය අධිපතියෙක් විය යුතුය වෙනත් විදිහකින් පවසනවානම් ජන්මියා වෘෂභ, සිංහ, වෘෂ්චික හෝ කුම්භ යන රාෂියකින් උපන් කෙනෙක් විය යුතුය. (පෙර ලිපියකදි මෙම රාෂි හතර ස්තිර රාෂි හෙවත් තිර රාෂි විදිහට අපි හැඳින් වුවා ඔබට මතක ඇති.) ඉතින් මේ ගුරු ග්‍රහයා පස්වන හෝ එකොලොස්වන භාවයේ හිමිකරුවා වනවා සේම ඔහු යහපත් තත්වයකින් හඳහනේ තැම්පත් විය යුතුය. 

එපමනක් නොව.. දෙවැන්න (ධනස්ථානය.) නමවැන්න (පුන්‍යස්ථානය.) හා එකොලොස්වැන්න (අයස්ථානය.) යන ස්ථාන තුනේ අධිපතියන් බලවත්වත් සඳුගෙන් කේන්ද්‍ර ගතවත් තැම්පත්විය යුතුය.


යෝගයේ ප්‍රථිපල

මේ සියළුම අවශ්‍යතා සම්පුර්න වූ විට පමනක් ඔබට අඛන්ඩ සාම්‍රාජ් යෝගය යෙදෙනු ඇත. මෙය නමේ හැටියටම බලවත් යෝගයකි, අඛන්ඩ යනු බිඳ හෙලිය  නොහැකි දිගුකල් පවතින වැනි අදහසකි. සාම්‍රාජ් යනු රජුන්ගෙත් රජු වැනි අදහසකි... මේ යෝගය යෙදෙන තැනැත්තාට ධනය, බලය, දැණුම, සමාජ තත්වය හා දරුවන්ගෙන් ලැබීම් යන සියල්ල ලැබෙනු ඇති බව පොතපතේ සඳහන්ය. මීට අමතරව මෙම යෝගයෙන් උපන් තැනැත්තාට සූදුවෙන් හා කොටස් වෙලඳපොල ආදියෙන්ද ලැබීම් ඇති බව පුද්ගලික අත්දැකීම් තුලින් පැවසිය හැක.

පහත තිබෙන්නේ ඉන්දියාවේ තවමත් සුපිරි නළුවෙක් ලෙස සැලකෙන අමිතාබ් භච්චන්ගේ හඳහනේ මෙම යෝගය යෙදී ඇති ආකාරයයි. ඔහු කුම්භ ලග්නයෙන් ඉපදී ඇති අතර හඳනේ එකොලොස්වන භාවය ගුරුට අයිතිය, ගුරු උච්ච බලයෙන් තැම්පත් අතර ගුරුටම දෙවන භාවයද අයිතිය. මෙම ගුරු චන්ද්‍රයාට කේන්ද්‍රගතවද තැම්පත් වී ඇත. ඒ අනුව අඛන්ඩ සම්‍රාජ් යෝගය මෙම හඳහනේ සටහන්ය. යෝගයෙ අඛන්ඩ යන වචනය යෙදෙන්නේ ඇයි දැයි තවත් පැහැදිලි කර දීම අවශ්‍ය නොවනු ඇත. අමිතාබ් අදටත් රජෙකි.





පල දෙන කාලය

මෙම යෝගය ගුරු මහා දසාව හා අනෙක් මහා දසා වල ගුරුගේ අතුරු දසා යන කාල වලදීද, සඳුගේ හා ගුරු හා සංයෝග ග්‍රහයන්ගේ දසා වල යම් ප්‍රමාන වශයෙන්ද ප්‍රථිපල දෙනු ලබන අතර නාඩි සිද්ධාන්ත වලට අනුව ගුරුගේ ජීව හා ශරිර ග්‍රහයන්ගේ කාල තූලද යම් තරමකට පල දෙනු ඇත. (නාඩි සිද්ධාන්ත සම්භන්ධව ඉදිරියේදි සාකච්චා කරමු.)


වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166

Saturday, October 16, 2021

කේමදෘම දෝශය -කල්පදෘම කියන්නෙත් මේකමද? මේක ඇත්තටම අවුල්ද?

ॐ गुरुवे नमः

 ඕම් ගුරුවේ නමඃ  

          පලාපල කථනයේදි ගොඩක් වෙලාවට කියවෙන දෝශයක් තමයි මේ කේමදෘම දොෂය එහෙම ඇත්තන් කේමදෘම ‍යෝගය කියලා කියන්නේ.එතකොට කල්පදෘම යෝගය කියන්නෙත් මේකටමද? නෑ... නම් දෙක ලඟින් ගියාට කල්පදෘම එහෙම නැත්තන් පාරිජාත යෝගය කියන්නේ වෙනම එකක්. අපි කල්පදෘමයෝගය ගැන වෙනම දවසක කතා කරමු. එතකොට කොහොමද මේ කේමදෘම දෝෂය හඳහනේ යෙදෙන්නේ.

හඳහනේ සඳු තැම්පත් වෙලා ඉන්න තැනින් දෙප්ත්තේ කොටු දෙකේ හෝ සඳු තැම්පත් කොටුවේ කිසිම ග්‍රහයෙක් තැම්පත් නොවීම මගින් තමයි මේ දෝෂය යෙදෙන්නේ. ඒ වගේම රවි, රාහු හෝ කේතු තැම්පත් වුනත් ඒ තුන්දෙනාව නොසලකා හරිනවා. ඒ කියන්නේ සඳු දෙපස. හෝ සඳු සමග කුජ බුද ගුරු සිකුරු හෝ ශනි කියන ග්‍රහයින්ගෙන් එක්කෙනෙක්වත් නැතිනම් මේ දෝශය යෙදෙනවා.කේන්ද්‍රස්ථාන වල මෙම යෝගය යෙදුනම දෝෂ තත්වය වැඩියෙන් බලපාන බවක් තමයි සඳහන් වෙන්නේ.

පොදු මතය

මේ යෝගය ගැන පොදු මතය වෙන්නේ මෙම යෝගය සහිතව උපන් තැනැත්තා ධන සම්පත් හීන මිතුරන්ගේ උපකාර නැති, අනුන් යටතෙ සිටින්නට වෙන දුක්ඛිත ජීවිතයක් ගෙවන කෙනෙක් බවයි.

මේ යෝගය සඳහා උදාහරන ලෙස බිල්ගේට්ස්, කිම් ක(ර්)ඩෙශියන්, රාජෙෂ් කන්නා, මා ඕ සේතුන්, සූසන් බොයිල් වගේ පුද්ගලයන්ව හඳුන්වා දෙන්න පුලුවන්.

බිල් ගේට්ස්ගේ හඳහන

28 October 1955 at 22:00 (= 10:00 PM ) Seattle, Washington, 47n36, 122w20
Timezone PST h8w (is standard time)


        පොඩ්ඩක් ඉන්න මේ අය හැමෝම මුදල් තිබුන/තියෙන බලවත් අයනේ. එතකොට මේ යෝගය තියන අය දුගි අසාර්ථක අය කියලනේ කිව්වේ? 

        අන්න එතන තමයි කතන්දරය තියෙන්නෙ. මේ කේමදෘම යෝගය ඇත්තටම බලපාන්නේ වැඩිපුරම අවුරුදු 18ට කලින් ඊට පස්සෙ ක්‍රමයෙන් මෙකේ බලපෑම අඩු වෙලා ගිහින් 42 වෙනකොට මේක අඩුම වෙලා යනවා. නමුත් මේ ගැන හරි දැනුමක් නැති සමහර අය පලාපල කථනයේදි අවුරුදු 30, 35 අයටත් මේ යෝගය නිසා අපල තියෙනවා කියලා කියනවා.

        වේදිය ජ්‍යෝතිෂය තුල මේ වගෙ වැරදියට අල්ලගත්ත දේවල් සෑහෙන්න තියෙනවා අපි තවත් ලිපියකින් ඒ වගේ තවත් අවස්ථාවක් ගැන සාකච්ඡා කරමු..

වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)

0755004166


Saturday, June 12, 2021

විවාහය පමා වෙලාද? (බලගතු කට්‍යායනී මන්ත්‍රය.)

ॐ गुरुवे नमः

 ඔම් ගුරුවේ නමඃ

            ඔන්න අද අපි කතා කරන්න යන්නෙ විවහය පමා වුන අයට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රථිකර්මයක්, එහෙමත් නැත්තන් ඒ වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් මන්ත්‍රයක් ගැන.

            මේ මන්ත්‍රය ගැන මුලින්ම සඳහන් වෙන්නේ භගවත් පුරානයේ. ප්‍රේම සම්බන්දතා වලට තියන බාධක ඉවත් කරගන්න, ඒ වගෙම තමන්ට ගැලපෙන සහකරුවකු හමුවෙන්න මේ මන්ත්‍රය භාවිතා කරන්න පුලුවන්. විශේෂයෙන්ම කුජ දෝෂ නිසා විවාහය පමා වෙනවනම් ඒ වෙනුවෙන් භාවිතයට සුදුසුම මන්ත්‍රයක් විදිහට මේ මන්ත්‍රය හඳුන්වන්නත් පුලුවන් 

            මේ මන්ත්‍රය තමන්ගෙ දියනියකගේ විවාහය පතා මවකට වුවද සජ්ජායනා කරන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි නෙමෙයි මේ මන්ත්‍රය නිසා ජීවිතයේ අනෙක් බාධකත් දුරු වෙලා සැනසීම උදාවෙන බව පැවසෙනවා.



            දුර්ගා මෑනියන්ගේ සයවෙනි අවතාරය ලෙස තමයි කට්‍යායනී මාතාව සලකන්නේ. ඔය උඩ තියෙන පින්තූරය කට්‍යායනී මෑනියන්ගේ. කට්‍යායනී මෑනියන්ව සිතේ තියාගෙන එතුමියට පහනක් පත්තු කරලා, රතු වස්ත්‍රයෙන් සැරසිලා රතු මල් පූජා කරලා, රතු ආසනයක (රතු රෙද්දක් බිම එලා ගත්තත් ගැටලුවක් නැත ) වාඩිවෙලා තමයි මේ මන්ත්‍රය සජ්ජායනා කරන්න ඕන. දිනකට අවම වශයෙන් මාලා එකක් (108 වතාවක්) මේ මන්ත්‍රය සජ්ජායනා කරන්න ඕන.


මන්ත්‍රය:

कात्यायनि महामाये महायोगिन्यधीश्वरि । नन्द गोपसुतं देविपतिं मे कुरु ते नमः ।।

කට්‍යායනී මහාමායේ මහායෝගින්‍යධීශ්වරි නන්දගෝපසුතම් දේවි පතිම් මේ කුරු තේ නමඃ

තවත් ලිපියකින් මුනගැහෙනකන් ඔබට ජය...

වෛදික ජ්‍යෝතිෂවේදි
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166

Tuesday, May 11, 2021

මහා භාග්‍ය යෝගය.

නම කිව්වම නමේ තේරුම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නොවෙන යෝගයක් තමයි මේ මහා භාග්‍ය යෝගය. ඉතින් මේ යෝගය යෙදෙන්නේ කොහොමද? 
මේ යෝගය ස්ත්‍රී පාර්ශවයට යෙදෙන විදිහත් පුරුෂ පාර්ශවයට යෙදෙන විදිහත් එකිනෙකට වෙනස්. 
            පුරුෂ පාර්ශවයට නම් පලවෙනියටම ඒ අදාල පුරුෂයා දහවල් කාලයේ උපන් කෙනෙක් වෙන්න ඕන.(දහවල් කියලා ජ්‍යොතිෂයේදි හඳුන්වන්නේ ඉර උදාවත් ඉර බැසීමත් අතර කාලය) ඒ වගේම එයාගේ හඳහනේ රවි සහ චන්ද්‍රයා ඔත්තේ රාශි වල (මේෂ මිතුන සිංහ..etc. මේ ආකාරයට) තැම්පත් වෙන්නත් ඕන. ඊට අමතර ඒ කෙනා උපන් ලග්නයත් ඔත්තේ රාශියක් වෙන්න ඕන. මෙන්න මේ විදිහට සියලුම අවශ්‍යතාවයන් සම්පූර්නව පුරුෂයෙක් උපන්නොත් ඒ පුරුෂයා මහා භාග්‍ය යෝගයෙන් උපන්නා වෙනවා..
            එතකොට මේ යෝගය කාන්තාවකට පිහිටන්නේ කොහොමද? කාන්තාවක් නම් රාත්‍රි කාලයේ (යම් දිනක ඉර බැසීමේ සිට පසු දින ඉර උදාව දක්වා කාලය) ඉපදිලා ඒ කෙනාගෙ රවි සහ චන්ද්‍රයා ඉරට්ටේ රාශිවල තැම්පත් වෙලා ඒ වගේම එයාගේ ලග්නයත් ඉරට්ටේ රාශියකම වුනොත් (ඉරට්ටෙ රාශි කියන්නෙ ව්ෘෂභ කටක කන්‍යා ආදි වශයෙන්) ඒ කෙනා මහා භාග්‍ය යෝගයෙන් උපන් කෙනෙක් වශයෙන් සලකනවා.


එතකොට මේ යෝගයෙන් උපන් අයට ලැබෙන්නේ මොනාද?

            මේ යෝග‍යෙන් උපන් අය අන් අයගේ ආදරයට ප්‍රාප්ත වෙන කඩිසර ඒ ජීවිතය ගැන පුළුල් දැක්මක් තියන අය. ඒ වගේම ඔවුන්ට දරුවන්ගෙන් සැලකුම් ලැබීමටත් දෙමාපියන්ගෙන් (විෂෙශයෙන් මවුගෙන්) උපකාර ලැබීමටත් වාසනාව තිබෙනවා. එපමනක් නෙමෙයි යානවාහන ගේදොර ලැබීමටත් වාසනාව ලැබෙනවා.


විෂේශ

            මේ යෝගය සැකසීමට මූලික වන රවි සහ චන්ද්‍රයාගෙ උච්ච නීච ස්වාභාවය මේ යෝගයේ පල අඩු වැඩි කිරීමට හෙතු වෙනවා වගේම ඊට එල්ල වෙන ශුභ අශුභ ග්‍රහ ද්ෘෂ්ඨිත් මේ යෝගයේ පල අඩු වැඩි කිරීමට බලපානවා.
මේ යෝගය මූලික වශයෙන් රවිගෙ හා සඳුගේ මහා දසා අන්තර් දසා කාලවල පලදෙන අතර රවි හා සඳු නැකැත් අදිපතියන් වෙන ග්‍රහයන්ගෙ දසා කාල වලත් යම් මට්ටමකට ප්‍රතිපල ලබා දෙන බව සඳහන්. 


වෛදික ජ්‍යෝතිෂවේදි 
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755 004 166

Monday, April 26, 2021

දවසේ සතියේ පලාපල හරිද?

 හරියටම අවුරුදු 5ක් මෙ බ්ලොග් එකට අන්තිම ලිපිය ලියලා.. ඇත්තටම මම හිතුවා මාස පහක් හයක් යනකොට බ්ලොග් එක එහෙම්මම යට ගිහින් මිනිස්සුන්ට මෙහෙම ජ්‍යොතිර්වේදියෙක් හිටියා කියන එකත් එහෙම්මම අමතක වෙලා යයි කියලා. නමුත් අවුරුදු පහක නිහැඬියාවකට පස්සෙත් බ්ලොග් එකට ලැබෙන ප්‍රතිචාර හා එන දුරකථන ඇමතුම් අවසන් වුනේ නෑ. ගොඩක් දෙනාගේ ඉල්ලිම වුනේ ආයෙත් හඳහන් බලන්න පටන් ගන්න ආයෙත් ලියන්න පටන්ගන්න ආයෙත් පංති පටන් ගන්න කියන එක.  සෑහෙන්න හිතලා ඔන්න ආයෙත් ලියන්න හඳහන් බලන්න වගේම ඉදිරි කාලයේදි ආයෙත් පංතියත් (අගස්ත්‍ය පාඨමාලාව.) පටන් ගන්නත් තීරනය කලා.

හරි ඒ කතාව පැත්තකින් තියලා අපි අද මාතෘකාවට බහිමු.  

සාමාන්‍යයෙන් අපේ උපන් කේන්ද්‍රය කියන්නේ අපි ඉපදෙන මොහොතේ ග්‍රහයන්ගේ පිහිටීම. නමුත් ඊට පස්සේ ග්‍රහයන් එතන නවතින්නේ නෑනේ. ඒවා සුපුරුදු ලෙසම ගමනේ යනවා. මේ ග්‍රහයන් මෙහෙම එක එක කොටුවෙන් කොටුවට (භාවයෙන් භාවයට.) ගමන් කරන එකට අපි කියනවා ග්‍රහයන්ගේ ගෝචර ගමන කියලා. උපන් කේන්ද්‍රය වගෙම මේකත් අපේ ජීවිතයට බලපානවා. 

එතකොට කොහොමද මේ දවසේ සතියේ පලාපල කියන්නේ?

දවසේ පලාපල කියන්නේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මුල් කරගෙන. චන්ද්‍රයා හඳහනේ එක කොටුවක (එක භාවයක,) ඉඳලා තවත් කොටුවකට යන්න දවස් එකහමාරක කාලයක් තමයි යන්නේ. සාමා‍යයෙන් ගත්තම මේක තමයි ග්‍රහයන්ගෙ කුඩා කාලයකදී වෙන ප්‍රධාන වෙනස. ඉතින් මේ නිසා චන්ද්‍රයා එක රාශියකින් තව එකකට ගියාම ඒ තැන චන්ද්‍රයාට කොහොමද කියලා ඒ ඒ ලග්නය අනුව බලලා පලාපල විස්තරයක් කියන එක තමයි මේ දිනපතා සතිපතා පලාපල කියනවා කියලා කරන්නේ.



එතකොට මොකක්ද මේකේ අවුල?

අවුල තමයි පලාපලයක් කියන්න ඒ විස්තරය විතරක් ප්‍රමානවත් නැති එක. ජ්‍යෝතිශයට අනුව නිවැරදි පලාපලයක් කියන්න නම් ඒ පුද්ගලයගෙ උප්පත්තියෙන් ග්‍රහ පිහිටිම දැනගැනීම අනිවාර්‍යයි. මොකද ඒක තමයි අත්තිවාරම. ඒ වගේම ඒ පුද්ගලයා ගත කරන දසාව මොකක්ද කියන එකත් අනිවාර්යයි. මේ දෙකම නැතිව චන්ද්‍රයා ගෝචර වෙන විදිහ දිහා විතරක් බලලා පලාපල කියනවා කියන්නේ අර අන්ධයෝ ටික අලියා ගැන විස්තර කිව්වා වගේ වැඩක්. 

ඇත්තටම මේ දවසේ සතියේ පලාපල කියන එක කරලියට එන්නේ ඉන්දියාවෙන්. එහේ දිනපතා පත්තර ටික විකුනගන්න එයාලා කරපු වැඩක් තමයි මේ. අපේ ටීවී චැනල් වලත්  විව්ස් හදාගන්න හැමදාම උදේ පාන්දර මේවා පෙන්නනවා. මේ දවස්වල අහවල් ලග්නෙට අසනීප වෙන්න අවධානමක් තියනවා කිව්වම ඉතින් ලක්ෂ ගානක් ඒ ලග්නේ තියන මිනිස්සුන්ගෙන් 10% හරි අසනිප වෙනවා. එයාලා මේක හරි කියලා හිතද්දී ඉතුරු හැමොම හිතනවා මේ විශය බොරුවක් කියලා. අන්න එකයි මෙතන ගැටලුව. අනික් ගැටලුව තමයි මේ විශය විශ්වාස කරන මිනිස්සු අර මනුස්සයා කියන දේ අහලා හිත කලබල කරගන්න එක. සමහරවිට තමන්ට ඒ සතිය නරක නැතත් අර මනුස්සයා කියපු නිසා සතිය පටන්ගන්නකොටම මේ සතිය තමන්ට හොඳ නෑ කියලා මානසික රාමුවක් හදාගන්න එක. ඉක්මනින්ම තවත් ලිපියකින් හමුවෙමු. 

සිද්ධි රස්තු
වෛදික ජ්‍යෝතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166