Friday, September 11, 2015

පරිවර්තන යෝග



පරිවර්තන යෝගය යනුවෙන් පැවසු විටම එහි වචනාර්ථයෙන්ම යෝගය පිලිබඳ යම් අදහසක් ගැනීමට අපට හැක. නමුත් අප දැන් සුදානම් වන්නේ මෙම යෝගය පිළිබඳව තරමක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමටයි. පරිවර්තන යෝග යටතේ නැකත්, රාශි හා කාරක පරිවර්තනය පිලිබඳ සඳහන් වුවද වැඩිපුරම භාවිතා වන්නේ රාශි පරිවර්තනය බව පෙනෙන්නට තිබේ. මෙහිදී අප රාශි පරිවර්තනය සම්භන්ධව සලකා බලමු.

රාශි පරිවර්තන යෝග අවස්ථාවන් 66ක් පිළිබඳව වේදීය ජ්‍යොතිෂ ක්‍රමය තුල සඳහන් වන අතර මෙම පරිවර්තන යෝග අවස්ථා 66 ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වේ.  ඒවා මහා පරිවර්තන යෝග, කාහල පරිවර්තන යෝග හා දෛන්‍ය පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. (දෛන්‍ය පරිවර්තන යෝග තුලම විපරිත පරිවර්තන ලෙසින් තවත් කොටසක් පිළිබඳව සඳහන් වේ).

            යම් ග්‍රහයින් දෙදෙනෙක් එකිනෙකා අනෙකාගේ රාශියේ ලෙසින් රාශි මාරු කරගෙන තැම්පත් වීම  රාශි පරිවර්තන යෝගය වන අතර මෙලෙස පරිවර්තනය වීම තුලින් ඒ ග්‍රහයා තමා සමග යෝගය සාදන අනෙක් ග්‍රහයාගේ නිවේදනය වෙනුවෙන් පෙනී සිටිමින් එකිනෙකා අතර බලය හුවමාරු කර ගනියි. උදාහරණයක් ලෙස යම් හඳහනක ගුරු ග්‍රහයා බුධ හිමි කන්‍යාවේ තැම්පත්වී බුධ ග්‍රහයා ගුරු හිමි ධනු රාශියේ තැම්පත් වී ඇතැයි සිතමු එවිට ගුරු ග්‍රහයා බුධගේ නිවෙදකත්වයන් වෙනුවෙන් පෙනී සිටින අතර බුධ ග්‍රහයා ගුරුගේ නිවෙදකත්වය වෙනුවෙන් පෙනී සිටියි.  මේ එක එක කොටස් පිළිබඳව වෙන වෙනම සලකා බැලීම වටි

මහා පරිවර්තන යෝග.

පරිවර්තන යෝග අතරින් වඩාත්ම සුබපල ලබාදෙන යෝග යෝග ලෙස පෙන්වා දෙන්නේ මහා පරිවර්තන යෝගයි. පරිවර්ථන යෝග අවස්ථා 66න් 28ක්ම අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.  ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන භාවයන් අධිපතියන් එකිනෙකා අතර පරිවර්තනය වීමෙන් මෙම යෝගය සැදෙයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම පරිවර්තන යෝග 28න් වැඩි ප්‍රමාණයක් රාජ හා ධන යෝග ගණයටද වැවීමයි.
            මහා පරිවර්තන යෝග මගින් පුද්ගලයාගේ ධනය බලය වර්ධනය කරවන අතර ත්‍රිකෝණ ස්ථාන වල සම්භන්ධයක් ඇත්නම් අධ්‍යාපනට හා දැනුම අතින්ද ඉහලට ගෙනයනු ඇත

01.   හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි.
උපත : 1827/01/20 පැය 21:00ට


ඉහත ජන්ම පත්‍රයේ බුධ හිමි කන්‍යා රාශියේ (දෙවැන්නේ) ගුරු ග්‍රහයා තැම්පත්ව සිටින අතර ගුරු හිමි ධනු රාශියේ (පස්වැන්නේ) බුධ ග්‍රහයා තැම්පත්ව සිටි. මෙය මහා පරිවර්තන යෝගයකි. අප කවුරුත් දන්නා පරිදි පස්වැන්නෙන් කියවෙන්නේ අධ්‍යාපනය පිලිබඳවය දෙවැන්නෙන් ධනය පිලිබඳවය. බුධ භාෂාමය හැකියාවන් හා කථනයටත් ගුරු ප්‍රඥාවටත් අධිපති කම් කරන අතර උගතුන් නිවේදනය කරයි.
            ශ්‍රී සුමංගල නාහිමියන් ශ්‍රීපාදස්ථානයේ නායක තනතුර හා තවත් බොහෝ පන්සල් ආරාම පාලනය කල හිමි නමකි. භාෂා පිලිබඳ ඥානයත් බොහෝ විෂයන් පිලිබඳ හසල දනුමක් හා මනා පරිචයකිනුත් යුතුවූ උන්වහන්සේ දෙවන බුදුවරයෙක් මෙනැයි වරක් අන්ටෝල් ප්‍රාන්ස් නම් ලේඛකයා පැවසිය.

02.   රබින්දනාත් තාගෝර්
උපත : 1861/05/07 පැය 02:27 (ඉන්දියාවේ කල්කටා හිදී)


රවින්ද්‍රනාත් තාගෝර් පඬිවරයාගේ ජන්ම පත්‍රයේ දෙවැන්න හා හතරවැන්න අතර කුජ හා බුධ ග්‍රහයන් පරිවර්ථනය වී ඇති අතර ලග්නය හා පස්වැන්න අතර (සඳු හා ගුරු) තවත් පරිවර්තන යෝගයක් සාදාගෙන සිටියි. මෙම පරිවර්තන යෝග දෙකම මහා පරිවර්තන යෝග වේ. හතරවැන්න මාතෘ භුමිය ගැන සහ සැපපහසුව ගැනත් දෙවැන්න ධනය පිලිබන්ධවත් පස්වැන්න අධ්‍යාපනය පිළිබඳවත් ලග්නය සමස්තයක් වශයෙන්ම ජන්මියාගේ සමස්ත තත්වය පිළිබඳවත් නිවේදනය කරයි.
            තාගෝර් මැතිතුමා පඬිවරයෙකි, තමන්ගේ මාතෘ භුමිය වෙනුවෙන් ජාතික ගිය රචනා කළේය, ඔහුගේ චරිතාපදානය තුල ඔහු නිතරම සිතේ සැනසිල්ලට මුලික තැනක් දුන් බව පෙනේ (සඳු සිතට කාරක වේ). භාෂාමය හැකියාව ඉතා ඉහල මට්ටමක විය. තාගෝර් නම් වියතාගේ ජීවිතයට මෙම පරිවර්තන යෝග දෙක බොහෝ බලපෑමක් කල බව පෙනෙන්නට තිබේ.


කාහල පරිවර්තන යෝග

තුන්වැන්න අධිපතියා ලග්නය, දෙවැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නමවැන්න, දසවැන්න, එකොලොස්වැන්න යන භාව අටෙන් එකක අධිපතියෙක් සමග පරිවර්තනය වීම කාහල පරිවර්තන යෝගයක් ලෙස හඳුන්වයි. මෙම යෝගයන් ඇතිවිට ආරම්භයේදී භාධක තත්වයන් ඇති කරන අතර අන් අයට වඩා බොහෝ ධෛර්ය වන්තව කටයුතු කල යුතුය.

01.   ඇමි කාටර්
උපත : 1967/10/19 පැය 00:26 (ඇමරිකාවේ ජෝර්ජියා හිදී)



ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර්ගේ දියණියයි. තුන්වැන්න හා පස්වැන්න අතර (රවී හා සිකුරු අතර) පරිවර්තනය සිදුවී ඇති අතර පස්වැන්නෙන් නිවේදනය වන අධ්‍යාපනය හා ප්‍රේමය සම්භන්ධව භාධක වලට මුහුණ දුන් කෙනෙකි. පාසල් අවධියේ අනවසරයෙන් ඇතුල් වීම හා අශෝබන හැසිරීම සඳහා නිතිය ඉදිරියට පවා ගෙන එන ලදී. එමෙන්ම තමන්ට වඩා වසර දෙකක් බාල කෙනෙක් හා ප්‍රේම සම්භන්ධයක් මත විවාහ විය. නමුත් ඇය උත්සාහයෙන් කෙසේ හෝ තම උපාධිය සම්පුර්ණ කලාය. මෙය කාහල යෝගය සඳහා ඉතා හොඳ උදාහරණයකි.

දෛන්‍ය පරිවර්තන යෝගය

දුෂ්ට ස්ථාන අධිපතියෙක් (6, 8,12 ස්ථාන අධිපතියෙක්) වෙනත් රාශි අධිපතියෙක් සමග පරිවර්තනය වීම දෛන්‍ය පරිවර්තනයක් හෙවත් දීන පරිවර්තනයක් ලෙස හඳුන්වයි පරිවර්තන යෝග වලින් අසුභ පල උදාකරන යෝග ලෙස පෙනෙන්නට තිබෙන්නේ මෙම දෛන්‍ය පරිවර්තන යෝගයි. මෙහි යෝග අවස්තාවන් 30ක් ඇත. මෙයින්ද දුෂ්ට ස්ථාන අධිපතියන් දෙදෙනෙකුම එකිනෙකා පරිවර්තනය වීම විපරීත පරිවර්තන යෝග ලෙසින් හඳුන්වයි. විපරීත පරිවර්තනය අසුභ තත්වයෙන් වැඩි ස්වාභාවයක් වේ. දෛන්‍ය පරිවර්තනයක් ඇතිවිට එයට සම්භන්ධ දුෂ්ට ස්ථානයට අදාළ පල වැඩි කරන බව පෙනෙන්නට තිබේ.

01.   සැන්ඩ්‍රා ඩේල් ඩෙනිස් (සැන්ඩි ඩෙනිස්)
උපත : 1937/04/27 පැය 19:17 (හැස්ටින්ග්, නබ්‍රස්කා, ඇමෙරිකාව)


සැන්ඩි ඩෙනිස් ඇමරිකානු වේදිකා හා චිත්‍රපට නිළියකි. ඇයගේ රෝගස්තානය වන හයවැන්න අධිපති ගුරු හතර වැන්න අධිපති සෙනසුරු සමග පරිවර්තනය වෙමින් දෛන්‍ය පරිවර්තන යෝගයක් සකසා ඇත. 1965 ඇයගේ පළමු විවාහයෙන් පසුව 1967දි දරුවෙක් ලැබෙන්නට ගොස් ගබ්සා වීමක් සිදුවිය. 1974 දි ඇගේ පළමු විවාහය අවසාන විය. ඇය ඉන්පසුව තමාට වඩා වසර 20 පමණ බාල පෙම්වතෙක් සමග 1980-1985 දක්වා ගත කල අතර එයද අසාර්ථක විය.  පසුව ඇය පිළිකාවකින් 1992දි මිය ගියාය. (හයවැන්න රෝගස්තානයයි. විවාහ ස්ථානයෙන් 12වැන්න බැවින් විවාහයේ ක්ෂය වීම නිවේදනය කරයි)



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, August 24, 2015

භාව කාරක හා මරණ කාරක



භාව කාරක

යම් ග්‍රහයෙක් වෙතින් නිවේදනය වන කරුණු මගින් යම් භාවයක නිවෙදකත්වය පෝෂණය වේ නම් එම ග්‍රහයා විසින් එම භාවයේ කාරකත්වය දරන බව සරලව පෙන්වා දිය හැක. මෙය මෙසේ පැහැදිලි කර ගත හැක.

ලග්නයෙන් තමා ගැන කියවෙන අතර මමත්වය හෙවත් ආත්මය නිවේදනය වන නෛසර්ගික ආත්ම කාරකයා වන රවි ලග්නය සඳහා කාරක වෙයි. දෙවැන්නෙන් ඉතුරුම් ධනය ගැන මූලිකව නිවේදනය වන අතර භාන්ඩාගාරය වාසස්ථානය කරගෙන සිටින සෞභාග්‍යමත් ගුරු ග‍්‍රහයා ධනස්ථානයට කාරක ග‍්‍රහයා වෙයි. තුන්වැන්නෙන් වික‍්‍රමය එඩිතර බව කියවෙන අතර ග‍්‍රහ දෙව්ලොව සෙන්පතියා වන කුජ තරම් මෙම භාවයට කාරක වීමට සුදුස්සෙක් නැති බව ඔබට වැටගෙනවා ඇත. හතර වැන්න වන මාතෘ ස්ථානයට ග‍්‍රහයන්ගේ මව වන චන්ද‍්‍රයා කාරක වන අතර හතර වැන්නෙන්ම කියවෙන වාහන සඳහා සිකුරු කාරක වේ (හතර වැන්නට චන්ද‍්‍රයා පමනක් කාරක වේ යැයි මතයක්ද ඇත.)පස්වැනි භාවයට පුත‍්‍ර කාරක හා ඥාන කාරක වන ගුරු කාරක වන අතර හයවැන්න වන රොග හා සතුරු ස්ථානයට සෙනසුරු හා කුජ කාරක වේ. විවාහය ගැන නිවේදනය වන හත්වැන්නට අප බලාපොරොත්තු වන ලෙසම සිකුරු කාරක වන අතර, තවත් තැනක මෙවැනි මතයක් ඇත එනම් පුරුශයන් සඳහා හත්වැන්නට සිකුරු කාරක වන අතර ස්ත‍්‍රීන් සඳහා හත්වැන්නට ගුරු කාරක වන බවයි. මෙම මතය කොතරම් නිවැරදිදැයි පර්යෙෂන මගින් අවබෝධ කරගැනීම පාඨකයාට බාර කරමි. කෙසේ වෙතත් මා පුද්ගලිකව පිලිගන්න ක‍්‍රමය නම් මුලින් සඳහන් කල ක‍්‍රමයයි.

අටවැන්නෙන් නිවේදනය වන්නේ මරණය හා දුක් සහිත දේවල්ය මේ භාවයට දුකට අධිපති සෙනසුරු කාරක වේ. නම වැන්නෙන් ධර්මය හා ධාර්මික පුද්ගලයන් උගතුන් නිවේදනය වන අතර මෙම භාවයටද එම තත්වය පෙන්වන ගුරු කාරක වේ. දසවැනට කාරක ග‍්‍රහයන් කිහිප දෙනෙක්ම සිටී. යමෙක්ට වෘතියෙන් සමාජ තත්වයෙන් ඉහක යාමට නම් ප‍්‍රඥාව ඉවසීම ක‍්‍රියාශිලීත්වය අභියෝග ජය ගැනීම වැනි බොහෝ දේ අවශ්‍ය වේ. මෙ නිසා මෙම භාවයට රවි, ගුරු, බුධ, හා සෙනසුරු කාරක වන්නේ මෙ සියලූ ගුණ මෙම ග‍්‍රහ සංකලනයෙන් ලැබෙන නිසාය. එකොලොස් වැන්නෙන් කියවෙන ලැබිම් නැවත නිවෙදනය වන්නේ ගුරු ග‍්‍රහයාගෙනි. දොලොස් වැන්නෙන් කියවෙන මෝක්ෂය ලබීමට නම් දරාගැනීම අත්‍යාවශ්‍යය එමෙන්ම ලෞකික සැපයෙන් ඇත්වීම අත්‍යාවශ්‍යය. එමෙන්ම දොලොස් වැන්නෙන් නැති වීම කියවෙයි. මේ නිසා මෙම භාවයට දුකට කාරක වෙන සෙනසුරු කාරක වෙයි.


මරණ කාරක

ඒ ඒ භාවයන්ට අදාලව ග‍්‍රහයන් කාරක වන අතර ඒ තමාට ප‍්‍රථිපල දීමට වැඩි හැකියාවක් ඇති ස්ථානයන් බව පෙනේ. මේ ලෙසම ග‍්‍රහයන්ට තමා සිටින භාවයේ ප‍්‍රථිපල හෝ තමා කාරක වන භාවයේ ප‍්‍රථිපල හෝ දී ගත නොහැකි වන භාවයන් තිබෙන අතර එම භාවයන් සඳහා එම ග‍්‍රහයන් මරණ කාරක වේ එම භාවයන් තුල තැම්පත් වීමෙන් ග්‍රහයා මිය ගියා සේ හැඳින්වීමේ වරදක් නොවන්නේ මේ මගින් ග්‍රහයා භාවයට අදාල ප‍්‍රතිපල විනාශ කරගන්නා අතර තමාගේ පලදීමේ හැකියාවද විනාශ කරගන්නා නිසාය. 
උදාහරනයක් ලෙස කුජ හය වැන්නට කාරක වන අතර හය වැන්නෙන් බ‍්‍රහ්මචාරිත්වය නිවේදනය වේ (හත්වැන්නෙන් දොළොස් වැන්න නිසා). යම් හෙයකින් කුජ හත් වැන්නේ තැම්පත් වුවහොත් බ‍්‍රහ්ම චර්යාව මෙන්ම එය බිඳීමද කුජ වෙත පැවරෙන අතර තමා කුමන කාරකත්වයක් නියොජනය කල යුතු දැයි තීරනය කර ගත නොහැකිව කුජ භාව දෙකේම නිවේදනයන් විනාශ කරන්නට ඉඩ තිබේ. කුජ හත්වැන්නේ සිටින්නන්ට කුජගේ නෛසර්ගික වයස අවසන් වනතුරු බ‍්‍රහ්මචාරීව සිටීමෙන් කුජ දෝෂය අවම වේ කියා කියන්නෙ මේ නිසාය.


තවත් උදාහරණයක් ලෙස රවි ග්‍රහයා නෛසර්ගික ආත්ම කාරයකයා වන අතර ක්ෂය වීම සම්භාන්ධන නිවේදනය වන දොළොස්වන භාවයේදි තමාගේ නෛසර්ගික කාරකත්වයට විරුද්ධ කාරකත්වයක් දැරීමට සිදුවීම නිසා මරණ කාරකතත්වයට පත්වේ. පහත දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයන් මරණ කාරක වන භාවයන්ය.



ග‍්‍රහයා මරණ කාරක භාවය

රවි            12 භාවය
සඳු            08 භාවය
කුජ           07 භාවය
බුධ           04 හා 07 භාව
ගුරු           03 භාවය
සිකුරු        06 භාවය
සෙනසුරු  01 භාවය
රාහු        09 භාවය

මේ ලෙස යම් ග්‍රහයෙක් මරණ කාරක ස්ථානයේ තැම්පත් වී ඇතිනම් ඊට අදාළ ප්‍රතිකර්ම හා පුද පුජා ක්‍රම වේදීය ජ්‍යෝතිෂය තුල සඳහන්ව ඇති අතර මීළඟ ලිපියෙන් අප ඒ පිළිබඳව සාකච්චා කරමු.


ගුප්ත විද්‍යා සහ ජ්‍යොතිෂ පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Sunday, June 28, 2015

රවී ග්‍රහයා ලග්නයේ තැම්පත් වීම

   
                       රවි ග්‍රහයා යනු ජීවයේ නිර්මාපකයාය සුර්යාලෝකයෙන් තොරව ජීවයක් නැත. වෛදික ජ්‍යෝතිෂයේද රවි ඉතාම වැදගත් ග්‍රහයෙකි. රවී ග්‍රහයා ලග්නයෙහි පිහිටි අය ගැනයි මේ වීඩියෝව.




ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂ වේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Saturday, June 20, 2015

නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)


           නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ.  අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

උදා :

ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

උදා:
01. සමන් 
     
         ස = ලඝු    ම+න්  = ගුරු    —  U

02. අනුහස්
        
        අ = ලඝු     නු = ලඝු      හ+ස් = ගුරු      —  —  U


අපි දැන් බලමු ගණ වර්ග ගැන.



ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.



ප:ලි:
නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි 

දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

අපායක්‌ෂර: 
අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි.. 



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, June 17, 2015

නම් තියන්නේ කොහොමද? 3

    ඔන්න අපි පලවෙනි ලිපි දෙකෙන් දරුවට නමක් තියන්න අකුරක් තෝරාගන්න අවශ්‍ය මුලික දේවල් ගැන කතා කළා. ඒ ටික බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න 1 ලිපිය . 2 ලිපිය. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ තෝරාගත් අකුර දරුවාගේ පියාට බලපාන්නේ කොහොමද කියලා.



මම ඊයේ කිව්වනේ මේක බොහෝ ජ්‍යොතිර්වේදීන් පවා අවතීර්ණ නොවෙන පියවරක්. නමුත් අපි වැඩේ හරියටම කරමු. අපි මේකෙදි පාවිච්චි කරන්නේ සිද්ධි චක්‍රය කියලා එකක්. මේ පහතින් තියෙන්නේ අන්න ඒක.


                 දැන් අපි බලමු මේක භාවිතා කරන විදිහ අපි හිතමුකෝ අපි දරුවට තෝරගත්ත අකුර "න"යන්න කියලා තාත්තගේ නම පද්මසිරි කියලත් දැන් අපි ඉස්සෙල්ලම හොයාගන්නවා තාත්තගේ නම පටන් ගන්න කොටුව ඔයාලට පේනවනේ "ප"යන්න තියෙන්නේ පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ අපි දැන් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට ප්‍රධාන කොටස් ගැනගෙන යනවා සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා . එතකොට අපිට පේනවා නයන්න තියන්නේ 04වෙනි එහෙමත් නැත්තන් අරි කියන ප්‍රධාන කොටුවේ.

              ඊළඟට මේ හතරවන කොටුවේ "ප" යන්න තියන කොටුවට සමාන කොටුව තෝරාගන්නවා "ප"යන්න තියෙන්නේ  පලවෙනි කොටසේ දෙවෙනි කොටුවේ නිසා අපි ගන්නවා හතරවෙනි කොටසේ දෙවෙනි කොටුව. එතන ඉඳලත් අර ඉස්සෙල්ලා වගේ සිද්ධ, සාධ්‍ය, සුසිද්ධ, අරි කියලා ගැනගෙන යන්න. එතකොටත් එන්නේ අරි කියන එකමයි දැන් පහත ප්‍රතිපල අනුව අකුර ගැලපෙනවද බලන්න.

සිද්ධ-සිද්ධ    : සුබයි කීකරුයි
සිද්ධ-සාධ්‍ය   : කීකරු කරගැනීමට මඳක් උත්සහ කල යුතුයි.
සිද්ධ-සුසිද්ධ : ඉතා සුබයි ඉතා කීකරුයි
සිද්ධ-අරි       : නෑයන්ට සතුරුකම් කරයි

සාධ්‍ය-සිද්ධ    : උත්සාහයෙන් කීකරු කරගත හැක
සාධ්‍ය-සාධ්‍ය   : කිසිසේත් නොහික්මෙයි
සාධ්‍ය-සුසිද්ධ : කීකරු කරගැනීමට මහන්සි විය යුතුය
සාධ්‍ය-අරි       : මව්පියන් සහෝදරයන් සමග සතුරු වේ

සුසිද්ධ-සිද්ධ   : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-සාධ්‍ය  : කීකරු කරගැනීමට ආයාසයක් ගත යුතුය
සුසිද්ධ-සුසිද්ධ : ඉක්මනින් කිකරුවේ
සුසිද්ධ-අරි      : පවුලේ විනාශය ඇති කරයි

අරි-සිද්ධ        : පුත්‍ර විනාශය කරයි
අරි-සාධ්‍ය       : සහෝදරියන්ට දියණියන්ට විනාශය ගෙනෙයි
අරි-සුසිද්ධ     : භාර්‍යා විනාශය ඇති කරයි
අරි-අරි           : මාපියන්ගේ විනාශය ඇති කරයි.

අපි තවත් උදාහරණයක් බලමු.

පියාගේ නම ආරියපාල දරුවට නම තියන්න "ල" අකුර සුබද කියලා බලමු.
පියාගේ නමේ මුල් අකුර තියන ප්‍රධාන කොටුව 02වැන්න "ල"යන්න තියෙන්නේ 04 වැන්නේ. ගැනගෙන යනකොට "ල"යන්න තියෙන්නේ  සුසිද්ධ කියන කොටුවේ. කුඩා කොටු වල පළමු වැන්නේ "ආ" අකුර තියෙන්නේ "ල"යන්න තියන්නේ තුන්වන්නේ නැවතත් ගැනගෙන යනකොට සුසිද්ධ කියන තැන නතර වෙනවා. ඒ අනුව ප්‍රතිපලය සුසිද්ධ සුසිද්ධ. ඒ අනුව ල අකුරෙන් දරුවාට නමක් දැමීම ඉතා සුභයි. මෙහිදී "ල"යන්නේ සියලු ප්‍රබේධ (ල, ලා, ලෑ, ලැ, ලෙ, ලේ.. ආකාරයෙන්) සුභය

අකුර තෝරගත්ත අපි මීළඟට දරුවාට ගැලපෙන ඝන පිහිටන විදිහට නම සකස් කරගන්න ඕන.. එක ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.. එතෙක් ජය ශ්‍රී.......



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Tuesday, June 16, 2015

නම් තියන්නේ කොහොමද? 2


ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නකෝ. ඉතින් අපි ඊයේ ඒ ඒ නැකත් වලට අදාළ අකුරු මොනවද කියලා හොයාගත්තනේ දැන් බලන්න ඕන ගැලපෙන අකුර තෝරාගන්න විදිහ. ඒක කරන්නේ මෙහෙමයි.


ඕනෑම නැකතක් ගත්තම ඒ නැකතට සුභ හා අසුභ නැකත් තියනවා. ඒ අසුභ නැකත් මග ඇරලා සුභ නැකතකට අදාළ අකුර තෝරාගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි අපි උපන්න නැකත ජන්ම නැකත කියලනේ හඳුන්වන්නේ එකන ඉඳලා ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්යාරි, සාධක, වධ, මෛත්‍රී, පරම මෛත්‍රී කියලා ගැනගෙන යන්න ඕන. ඉවර වුනාම එතන ඉඳලා ආයෙත් ඒ විදිහටම ගනින්න ඕන. එතකොට ජන්ම නැකත් තුනක් සම්පත් නැකත් තුනක් විපත් නැකත් තුනක් විදිහට මේ නැකත් විසිහත බෙදෙනවා. ආධුනිකයාට මේක තේරුම් ගන්න අමාරු නිසා මම චාර්ට් එකක් දාන්නම්


මෙන්න මේ විදිහට ජන්ම නැකත තියන පේලියෙන් අදාළ නැකත තෝරාගෙන එයට සම්පත් ක්ෂේම සාධක මෛත්‍රී හා පරම මෛත්‍රී කියන කොටස් වලට අදාළ නැකතකින් අකුරක් තෝරා ගන්න එක තමයි නිවැරදිම ක්‍රමය. (ජන්ම නැකතට අදාළ අකුර තේරීම වරදක් නොවුනත් වඩාත් සුදුසු ඉහත ක්‍රමයට තෝරා ගැනීමයි)

හරි දැන් අපි දරුවට ගැලපෙන අකුරු තෝරාගත්තා. ඊළඟට කරන්නේ දරුවාගේ නම පියාටත් යහපත් වෙන විදිහට අකුරක් තෝරාගන්න එක. අපි එකට සිද්ධි චක්‍රය කියලා එකක් භාවිතා කරනවා.බොහෝ ජ්‍යෝතිර් වේදීන් පවා මේ පියවරට යන්නේ නැ. උපන් නැකත බලලා නැකත්පාදයට අදාළ අකුර දීලා නිකන් ඉන්නවා.  නමුත් කරන දේ හරියට කරන එකනේ හොඳ. එහෙනම් සිද්ධි චක්‍රය පාවිච්චි කරන විදිහ ඊළඟ ලිපියෙන් කතා කරමු.. එතකන් ජය ශ්‍රී



ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවෙදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, June 15, 2015

නම් තියන්නේ කොහොමද? 1


          අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම තමන්ට වාසනාව ගෙනෙන ආකාරයට සකස් කරගන්නත් පුලුවන්නම් ඒක ඉතාම වටිනා දෙයක්. කොහොම නමුත් බොහෝ ජ්‍යෝතිර් වේදීන් අතින් නාම කරණයේදී සුළු අඩුපාඩුවක් වෙනබව පෙනෙන්න තියෙනවා.. වරදක්මය කියලා කියන්නට බැරි වුනත් තාර්කිකව හිතලා බලද්දී ඒක අඩුපාඩුවක්ම තමයි. අපි ඒ ගැන පස්සට කතා කරන්න තියලා මුලින්ම නමක් තියන එකේ වැදගත්කම ගැන හිතලා බලමු.

පුද්ගලයෙක් ඉපදුනාට පස්සේ අපිට හිතාගන්න බැරිතරම් වාර ගානක් තමන්ගේ නම අන් අයගේ මුවින් තමන් වෙත පවසනවා අසන්නට ලැබෙනවා. ඉතින් මේ වචනයෙන් (නමෙන්) නිකුත් වෙන ශබ්දය අපිට හොඳට හෝ නරකට බලපාන්න පුළුවන්. ශබ්ධය කියන්නේ ශක්ති විශේෂයක්. අපි කාලයක් තිස්සේ යම් ශක්තියකට කිරනයකට නිරාවරණය වුනාම එකෙන් අපිට ශාරීරික හා මානසික වශයෙන් බලපෑමක් එල්ල වෙනවා. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙනම් එක්කෙනෙක්ට හොඳ වෙන නමක් තව කෙනෙක්ට නරක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අපි එකින් එක්කෙනාගේ ශාරීරික හා මානසික තත්වයන් සමාන නොවීම. එහෙනම් පිටරටවල මිනිස්සු නම් දාන්නේ උපන් වෙලාවල් බලලා නෙමෙයි නේද? මේක ඔබේ ඊළඟ ප්‍රශ්නය වෙන්න ඕන. ඔව් එක ඇත්ත සාමාන්‍යයෙන් අපි අහඹු ලෙස තෝරාගන්නා අකුරක් තමන්ට අවැඩක් නොවෙන ගැලපෙන අකුරක් වෙන්න තුනෙන් දෙකක සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නේ අහඹු ලෙස ගන්නා අකුර ගැලපෙන්න 66% ක අවස්තාවක් තියනවා. නමුත් ජ්‍යෝතිෂයේදී අපි උත්සහ කරන්නේ අර අනිත් අවාසනාවන්ත 33% පුළුවන් තරම් අවම අගයකට ගන්න. 

ඔන්න එහෙනම් පාඩම පටන් ගමු.

මුලින්ම නමක් දාන්න කලින් ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි දරුවා ඉපදුන නැකත. ඒක ජන්ම පත්‍රයේ සටහන් වෙලා තියනවා අසවල් නැකති උපන්නේය කියලා. ඊළඟට දැනගන්න ඕන ඒ ඒ නැකතට අදාළ අකුරු. මම මෙතැනදී ඔයාලට ලබා දෙන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් විසින් ලබා දුන් අක්ෂර අනුපිලිවල. වසර ගණක පර්යේෂණ වලින් මට දකින්නට ලැබුන සාර්ථකම ක්‍රමයිමේ.



දැන් හරි ලේසියි උපන් නැකතට අදාළ අකුර තෝරාගන්නවා... එහෙම හිතුවනම් ඔබ වැරදියි. අකුරු තෝරාගන්නා විදිහ ඊළඟ දවසේ කියා දෙන්නම්. එතකන් ජය ශ්‍රී....



ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න