Showing posts with label ඇදහිලි හා විෂ්වාස.. Show all posts
Showing posts with label ඇදහිලි හා විෂ්වාස.. Show all posts

Wednesday, December 31, 2014

ඇස්වහ, කටවහ, ගෙවල දෝෂ වලින් මිදී අලුත් අවුරුද්දට පා නගමු

2014 අවුරුද්දත් ඉවර වෙන වෙලේ පහුගිය අවුරුද්ද පුරා තිබ්බ ඇස්වහ කටවහ සහ ගෙවලයන්ගෙන් තිබුනාවූ දෝෂ ඉවත්කරගෙනම අවුරුද්ද ආරම්භ කලා නම් හොඳයි කියලා හිතුනා. ජනවාරි පලවෙනිදා කියන්නේ සිංහල අපේ අවුරුද්ද නොවුනත් සමාජ සම්මතයට අනුව අපි ජනවාරි පලමු වෙනිදා නව ආරම්භයක් ගන්න නිසා මේ අලුත් ආරම්භය දෝෂ වලින් තොරව අලුත් උත්තේජනයක් ඇතුව ගන්න පුලුවන් නම් ඒක වටිනවා. ඉතින් මම මේ කියා දෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපවෙත එල්ල වෙන ඇස්වහ කටවහ සහ අපේ නිවාස වල තියන ගෙවල යක්ෂ දෝෂ ඉවත් කරගන්න ක්‍රමයක්.

මුලින්ම පාන්දර කුරුල්ලන් අවදිවන්නට පෙර අවදිවී (පාන්දර 4ට 4.30ට පමන) කථා නොකර නැවුම් මුට්ටියකය පිරිසිදු පැන් ටිකක් පෙරාගෙන අබ ඇට සහ කපු ඇට ස්වල්පයක් දමා පහත මන්ත්‍රයෙන් 108 බැගින් තුන්වරුවක් මතුරාගෙන එම වතුර නිවසේ කමර හා අනෙක් කොටස් වල (වැසිකිලි නාන කාම්මර ඇර) හත් වරුවක් ඉසින්න. ගෙවල යක්ෂ දෝෂ ඇස්වහ කටවහ දුරුවේ.

ඕං ආසප්පර භගවතී ආකුන්ඩලී අක්ෂිවාහා෴
ඕං කරණි ධාරනි බෝකුන්දරණි අවිරුන්ද දෝෂා මූලේ පෝඃ෴


සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Thursday, November 27, 2014

෴පොල් ශාස්ත්‍රය෴

දේවාලයකට ගොස් පොල් ගසන්නේ කෙනෙක්ට විනාශයක් ගෙන දීමට අවශ්‍ය වූ විටක බව බොහෝ දෙනා සිතා සිටින කාරනයකි. නමුත් වින කිරිමට අමතරව තවත් බොහෝ දේ සඳහාද විශේෂයෙන් සුභ කටයුතු සඳහාද පොල් ගසන අතර පොල්ගැසීමට දේවාලයකට යෑමද අත්‍යාවශ්‍ය නැත. තම නිවසේ වුවද පොල් ගැසිය හැකි අතර එසේ කරන්නේ නම් එම නිවස අසල ඉතා පිරිසිඳු තැනක මල්බුලත් තටුවක් සදා කිල්ලෙන් ආරක්ෂාකර එය සිදු කල යුතුය.

පොල් ගෙඩියක් ගහන නියම ආකාරය නම් ගහෙන් අතට කඩවගත්ත පොල් ගෙඩියක් මුඩ්ඩ පමනක් ඉතිරිවෙන ලෙස හොඳින් සුද්ද කර, තමාද හොඳින් නා පිරිසිඳු වී, පොල්ගෙඩිය කහ වතුරින් සෝදා දේවාලයේ හෝ මල් බුලත් තටුවක තබා පොල්ගසන්නේ කුමන දෙවි කෙනෙක් වෙනුවෙන්ද අන්න ඒ දෙවියන්ට අදාල මල් හා අනෙක් පූජාවන් නොපිරිහෙලා තබා ස්ත්‍රෝත්‍ර, ගාථා, මන්ත්‍ර, කවච ආදිය කියා අදාල කන්නලව්ව කර කපුරු පෙති තුනක් පොල් ගෙඩිය මත පත්තු කර තම ප්‍රාර්ථනාව දැඩිලෙස සිතා ගෙන පොල් ගෙඩිය ගැසීමයි. මෙහිදී තමා කිල්ලෙන් ඈත්වී සිටිය යුතු අතර, මස්මාංශ වලින්ද ඉවත්වී පේ වී සිටීමට හැකිනම් ඉතා අගනේය. 

මෙසේ නිසි වත්පිලිවෙත් පුරා පොල් ගැසීමෙන් තමාගේ කාරිය සාර්ථක වීමට ඇති ඉඩකට ඉතාමත් ඉහල මට්ටමක පවතින අතර. අද කාලයේ මේ සියලු පිලිවෙත් පිරීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ නිසා හැකි තරම් පිලිවෙත් පිරීම වටිනා බව සිහි කිරීමට කැමැත්තෙමි.

මීට අමතරව තමන් කරන කටයුතුවල සාර්ථක අසාර්ථක තාව දැන ගැනීමටද පොල් ගසන ක්‍රමයක් ඇත. මෙහිදී කල යුත්තේ පෙර සඳහන් කල පරිදි පොල්ගෙඩියක් සකස් කර දේවාලයක හෝ නිවසේ සකස් කරගත් ස්ථානයේ ( මෙහිදී දේවාලයක මෙය සිදු කිරීම මා අනුමත කරන්නේ නිවෙස් වලට මස්මාංශ ආදිය ගෙනෙන නිසාය) කවි, ගාථා, ස්ත්‍රෝත්‍ර, කවච, කන්නලව්ව කියා කපුරු පත්තු කර තමන්ට දැනගැනීමට අවශ්‍ය දේ කියා තමන්ට මග පෙන්වන ලෙස කියා පොල් ගෙඩිය ගසන්න. පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුව වැඩ්ය සාර්ථක අසාර්ථක වීම ඔබට තේරුම් ගත හැකි වෙනු ඇත. ඒ පහත පරිදිය.



ඉතින් මෙය උත්සහ කර බලා අපල සපල තාවය කෙබඳුදැයි අපටත් දැනුම් දෙන්න. 




වෛදික ජ්‍යොතිෂවේදී,
ගුප්ත විද්‍යා ගවේශක,
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Monday, October 13, 2014

කතරගම දෙවියන්ට නිවැරදිව පඬුරක් තබමු

සුමන සමන් දෙවියන්ට පඬුරක් ගැට ගසන නිවැරදි ක්‍රමය පසු ගිය වතාවක කියාදුන්නට පස්සේ ඒකට ගොඩක් යහපත් ප්‍රථිචාර ලැබුනා. ඒ ගොඩ දෙනෙක් කිව්වේ කතරගම දෙවියන්ට පඩූරක් ගැට ගසන නිවැරදි ක්‍රමයත් කියා දෙන්න කියලා. ඉතින් අද සුදානම ඒ ඉල්ලීම ඉටු කරන්න.. 

 උවමනා දේ
  • තඹිලිතෙල් පහනක් (නොඉඳුල් තැඹිලි තෙල් නම් වඩා හොඳයි)
  • රිදී පඬුරක් (රිදී පැහැ කාසියක් වුනත් කමක්නෑ)
  • රත්මල් පොකුරු 5ක්
  • කපුරු පෙති 5ක්
  • රතු පැහැ රෙදි කඩක් (පඬුර එතීමට)
  • තැඹිලි ගෙඩියක්
  • කලු උක්ගස් කැබැල්ලක්
  • බිම් දුම්මල ස්වල්පයක් (බිම් දුම්මල නොමැතිම නම් වෙනත් දුම්මල වර්ගයක්)
  • පොල් ගෙඩියක් 
  • කහ දියර ස්වල්පයක්

පිලිවෙල

මුලින්ම පොල් ගසක් අසල හෝ වෙනත් පිරිසිඳු තැනක් විශේෂයෙන් ශුද්ධ පවිත්‍ර කරගෙන මල් යහනක් සාදාගන්න.ඉන්පසු තමා නා පිරිසිඳු වී පැමින ඉහත සඳහන් කල දෑ මල් යහනේ තැම්පත් කර ඒ අසල සෑම තැනම කහ දියර ඉසින්න. පඬුර හා එය ඔතන රතු රෙදි කැබැල්ලද එම කහදියරෙන් සෝදාගන්න. 
පසුව පහන පත්තු කර දුම්මල අල්ලා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් සිතින් කියා තමාට උවමනා කාරනය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලා පඬුරට හා රෙදි කැබැල්ලටත් දුම් අල්ලා එම මල් යහනේ පඬුර බඳින්න. ඉන්පසු කපුරු පෙති පහ දල්වා පොල් ගෙඩිය එතනම ගසා යන්න..
මෙය ඉතාම බලවත් දෙයකි සුභ අසුභ ඕනෑම දෙයකට භාවිතා කල හැකි බැවින් ඉතාම ප්‍රවේසමෙන් සුලු සුලු සෙල්ලම් වැඩ වලට භාවිතා නොකර අයුතු දේකට නොයොදා අවශ්‍යම කරුනක් සඳහා පමනක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.. ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන බව අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.






වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Thursday, October 2, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව් රජුන්


මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ දෙවියන් යැයි යම් පිරිසක් අදහස් දැක්වුවද ඒය වැරදි මතයකි. නාථ දෙවියන් ගැන මා කලින් පල කල ලිපියෙහිද ඒ පිලිබඳ වැඩිදුර විස්තර සටහන් කර ඇත. මෙත් බෝසතුන් දැන් මහා සංතොඨ්ඨික දෙව් රජුන් හෙවත් මහා සංතෝෂයින දෙවියන් ලෙසින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් හා අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීම් වල මනාව සටහන් වේ.



කෙසේ නමුත් මෙත් බෝසතුන් ගැන දීර්ඝ මෙන්ම පැහදිලි කරුනු අපට හමුවන්නේ ඛුද්දක නිකාය, බුද්ධ වංශ දේෂනාව අවසානයේදි සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි බුදුරජානන් වහන්සේ විසින් සිදුකල අනාගත වංශ දේශනාවෙනි.
බුද්ධත්වයෙන් හත්වන වස් කාලයේදී මාතෲ දිව්‍ය රාජයාට ධර්මය දේෂනාකිරීම සඳහා තවුතිසාවට වැඩම කර සිටි බුදුරජානන් වහන්සේ ඉන් පසු මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ නුවර “සිරිවඩ්ඪන” නම් මහ සිටු පුත්‍රයකු ව සිටි මෛත්‍රී බෝසතුන් අප බුදුරජානන් වහන්සේට ආරාමයක් කර පූජා කරවන ලදි එවිට බුදුන් වහන්සේ මේ මතු බුදුවන මෙත් බෝසතුන් යයි ප්‍රකාෂ කල අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම අනාගත වංශ දේෂනාව කල සේක. එහි සඳහන් වන පරිදි උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. කේතුමතී නුවර සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ. වයස අවුරුදු 18 වන විට ගිහිගෙයින් නික්ම යබ බවද මෙම දේෂනාවේ සඳහන් කරුනු අතර වේ.

මෙහි "සිරිවඩ්ඪන" නම අල්ලා ගත් ගාල්ලේ විකටයෙක් තමා මෛත්‍රී බුදුන් යැයි කියමින් බන කීවා කාටත් මතක ඇතැයි සිතමි.

බුදුවන්නට පෙරුම් පුරනා මෙත් බෝසතුන්ගෙන් යමෙක් පිහිටක් බලාපොරොත්තු වේනම් මහා කරුනා සිත පෙරදැරිව උන් වහන්සේ පිහිට වන්නේ යයි පැරැන්නන්ගේ මතයයි.

෴මෙත් බෝසතුන් වන්දනා කරන ගාථාව෴

මෙත්තෙය්‍ය නාමේන බුද්ධො භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදාති තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමිතං වීතරාගී මුනින්දං

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
0755004166

Thursday, September 25, 2014

෴පෙර නිමිති෴(50 වන කඩයිම)

                            පෙර නිමිත්ත කිව්වම බෞද්ධයන්ට නම් එක වර මතක් වෙන්නේ සතර පෙර නිමිති. ඇත්තටම පුරානයේ ඉදලම මේ පෙරනිමිති ගැන මිනිස්සු ගොඩක් සලකිල්ලක් දැක්වුවා. සැළලිහිනි  සංදේශය රචනා කල රාහුල හිමියන් එම විශිෂ්ඨ කෘතියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙල කුසුම ලිය පියතෙපල රන් කෙඩි
සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩී
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී





ඉතින් අද පෝස්ට් 50 සම්පූර්න වෙන මේ වෙලාවේ පෙර නිමිති ගැන ටිකක් විස්තර කරන්න හිතුනා. අපේ පැරැන්නෝ පෙර නිමිති කොටස් 6කට වර්ග කරලා තියනවා

  1. ආගත නිමිත්ත
  2. ගත නිමිත්ත
  3. දර්ෂන නිමිත්ත
  4. භාෂන නිමිත්ත
  5. ශ්‍රවන නිමිත්ත
  6. චිත්තාරම්භන නිමිත්ත

ආගත නිමිත්ත

ආගත නිමිත්ත කියන්නේ තමන් සුභ ගමනක් යනකොට ඉස්සෙල්ලම මූනට මුලිච්චිවෙන කෙනා, සත්වයා හෝ දෙයටයි
සුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක සුබ ආගත නිමිත්තක් ලෙසත් අසුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක අසුභ ආගත නිමිත්තක් ලෙසත් හදුන්වනවා.

ගත නිමිත්ත
මූනට මුලිච්චි නොවුනත් අපි යන මග හරහා යන කෙනෙක් පාර පනින සතෙක් එහෙමත් නැත්තන් අපි යන අතටම අපිත් එක්ක යන කෙනෙක් පාරේ හිටියොත් ඒ කෙනා හෝ සතා ගත නිමිත්ත වෙනවා. මේකත් සුභ අසුභ ලෙස හඳුන්වනවා. උදාහරනෙකට අපි යනකොට සුන්දර කාන්තාවක් පාර හරහා යන එක සුභ ගත නිමිත්තක්. හස්තිරාජයෙක් යන එකත් ඒ වගේමයි.  

දර්ශන නිමිත්ත
යම් කර්තව්‍යයක් පටන් ගන්නට පෙර අපි දකින දේ (මේක මූනටම මුන නොගැහුනත් අපට පේනවනම්) තමයි දර්ශන නිමිත්ත. උදාහරනයක් කියනවනම් අපි පාරට බහින තැනම ඉදුනු අඹ පිරුනු අබ ගහක් තියනවනම් ඒක දර්ශන ගත නිමිත්තක්මේ දර්ශන නිමිත්තට යම් කාරියකට පෙර අපි දකින සිහිනත් අයත්

භාෂන නිමිත්ත
යමක් පටන්ගන්නකොට අසල සිටින කෙනෙක් විසින් පවසන දේ තමයි භාෂන නිමිත්ත වෙන්නේ උදාහරනයකට ජය වේවා , සැප වේවා වගේ ප්‍රාර්ථනාත් සෙත් පිරිත් වගේ දේවලුත් සුභ භාෂන නිමිති ලෙස පෙන්නන්න පුලුවන්. කෙලවෙලාම පල, හොඳක් නම් වෙන්නේ නෑ වගේ ඒවා අසුභ භාෂන නිමිති.

ශ්‍රවන නිමිත්ත
අපිට යමක් පටන් ගන්නකොට කවුරුන් හෝ යමක් පවසන දේට අමතරව තව ඕන තරම දේ ඇහෙන්න පුලුවන් ඒවා අයිති වෙන්නේ ශ්‍රවන නිමිත්තට. සක් හඬ, හොරනෑ හඬ, කුකුලන් හඬලෑම වගේ ඒවා සුභ ශ්‍රවන නිමිති. ඒ වගේම යමක් බිඳෙන හඬ, හූ හඬ, කහින හඬ, හූනන් ගේ හඬ වගේ ඒවා අසුභ ශ්‍රවන නිමිති විදිහටයි සලකන්නේ..

චිත්තාරම්භන නිමිත්ත
අපි ගමනක් යන්න පිටත්වෙනකොට හෝ වැඩක් පටන් ගන්න හදනකොට එකවරම අපේ සිතේ එක වරම ඇතිවෙන සිතිවිල්ල චිත්තාරම්භනනිමිත්ත වෙනවා ආගත නිමිත්ත වගේම ගොඩක් බලවත් කියලයි කියන්නේ. මොකද බෑ බෑ කියලා පටන් ගන්න වැඩක් අසාර්ථක වෙන්න තියන සම්භාවිතාව වැඩියි කියලා අපි ඉතින් දන්නවනේ.


කොහොම වෙතත් සුභ වැඩකට යනකොට වතුර වීදුරුවක් අතින් ගත්ත අම්මව මුලිච්චිවෙලා අම්මගේ මුවින් මගේ දරුවට තුනුරුවන්ගේ පිහිටයි කියලා අහලා යන්න තියනවනම් ඔය කිව්ව පෙර නිමිති හයම සුභ පක්ශයෙන් සම්පූර්න වෙනවා.. අම්ම නැත්තන් තමන්ට ගොඩක්ම හිතවත් කෙනෙක් ගෙන් ආශිර්වාද ලබලා යන්න පුලුවන්නම් ඉතින් බොහොම සුභයි.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Wednesday, September 17, 2014

සුමන සමන් දෙවියන්ට පඬුරු තබන හැටි

සමන් දෙවියන්ට පඬුරක් බඳින නිවැරදි ආකාරය තමයි අද කියල දෙන්න හිතන්නේ.. මේ පඩූර බඳිම ශුභ වැඩකට මිසක් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්න පතලා බඳින්න එපා වැඩක් වෙන්නේ නෑ.. හේතුව සමන් දෙවියන් තිසරන සරන ගිය පවින් වැලකුන දෙවි කෙනෙක් වීම.


අවශ්‍ය දෑ

  • රිදී පඬුරු 1ක් (රිදී පඬුරක් නැතිනම් තඹ කාසියක් වුනත් කමක් නෑ)
  • සමන් මල් 7ක්
  • බුලත් කොල 7ක්
  • සාම්බ්‍රානි ස්වල්ප්අයක්
  • විලඳ
  • එලඟිතෙල් පහනක්
  • සුදු රෙදි කැබැල්ලක් (පඩූර ගැටගැසීමට)
  • පස් පලතුරු
  • සඳුන් මිශ්‍ර කරගත් පැන් ටිකක්..


මුලින්ම පිරිසිඳු තැනක මල් යහන සකස් කර සකස් කරගෙන, තමන් නා පිරිසිඳු වී පැමින පහන දල්වා පහතින් දැක්වෙන කන්නලව්ව හත්වරක් කියා තමාගේ ප්‍රාර්ථනාවද කර සාම්බ්‍රානි ශුම් අල්ලා සඳුන් මිශ්‍ර පැන් ඉස පඬුර ගැටගසන්න



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755004166

Monday, September 8, 2014

ඔබේ ඉටු දෙවියන් කවුරුන්ද?

මීට පෙර වතාවකදී ඔයාල උපන් නැකතට අධිපති වන දෙවියන් කවුද කියලා අපි කථා කලානේ. ඒ ලිපිය බලන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් බලලා එන්න. ඉතින් අද කියලා දෙන්න හදන්නේ හඳහනේ ග්‍රහ පිහිටීම අනුව තම තමන්ට අදාල වන ඉටු දෙවියන් කවුද කියලා හදුන ගන්න විදිහ.  

මේ ක්‍රමය ජ්‍යොතිෂ ගැන දැනුම අඩු අයට තරමක් සංකීර්න වුනත් හැකි තරම් සරලව කියා දෙන්න බලන්නම්. මුලින්ම අපි කරන්න ඕන අපේ ආත්මකාරක ග්‍රහයා හොයා ගන්න එක.  ඒක කරන්නේ මෙහෙමයි අපේ හඳහනේ යම් කිසි කොටුවක වැඩිම අංශක ගනනක් ගමන් කර ඇති ග්‍රහයා තමයි ආත්ම කාරක ග්‍රහයා කියලා හඳුන්වන්නේ. මේකට නවාංශක ගැන දැනුම ටිකක් ඕන

නවාංශකයක් කියන්නේ එක රාශියකින් නමයෙන් පංගුවක්. ඒ කොටස් නමයත් මේෂ වෘෂභ කියලා රාශි නාම වලින් තමයි හදුන්වන්නේ. මේෂ රාශිය මේෂ නවාංශකයෙන් පටන් අරන් මේෂ වෘෂභ මිථුන කියන ආකාරයට ගිහින් ධනු නවාංශකයෙන් අවසන් වෙනවා (ධනු තමයි 09 වෙනි එක) මේෂ රාශියට පස්සේ තියන වෘෂභ රාශිය පටන් ගන්නේ මේෂ රාශිය ඉවර වුන තැනින් ඒ කියන්නේ මකර නවාංශකයෙන්. මකර නවාංශකයෙන් පටන් ගත්ත වෘෂභ රාශිය ඉවර වෙන්නේ කන්‍යා නවාංශකයෙන්. මේ විදිහට පිලිවෙලින් යනවා. බලා ගන්න පහසු විදිහට කියනවනම්

මේෂ, සිංහ, ධනු -  මේෂ නවාංශකයෙන් ආරම්භ වේ

වෘෂභ,කන්‍යා, මකර - මකර නවාංශකයෙන් ආරම්භ වේ

මිථුන, තුලා, කුම්භ - තුලා නවාංශකයෙන් ආරම්භ වේ

නටක, වෘෂ්චික, මීන - කටක නවාංශකයෙන් ආරම්භ වේ



දැන් පුංචි උදාහරනයක් දෙන්නම් 



දැන් මේ ඉහත පෙන්නලා තියන හඳහනේ මීන රාශියේ චන්ද්‍රයා හා සිකුරු තැම්පත් වෙලා ඉන්නවා දැන් බලමු මේ දෙන්නගෙන් වැඩිම අංශක ගානක් ගිහින් ඉන්නේ කවුද කියලා. නවාංශක කොටුව බලපුවම පේනවා චන්ද්‍රයා කන්‍යා නවාංශකයේත් සිකුරු කුම්භ නවාංශකයේත් ඉන්නවා කියලා අපි දන්නවා මීන රාශිය පටන් ගන්නේ කටක නවාංශකයෙන් ඉතින් කටකයේ ඉඳලා කටක,සිංහ, කන්‍යා කියලා ගනන් කරන් ගියාම අපිට පේනවා චන්ද්‍රයා තමයි අපිට ඉස්සෙල්ල හම්බෙන්නේ ඊට වඩා ඈතින් සිකුරු ඉන්නවා කියලා පේනවා මේ කොටු ගනන අනුව සියලුම ග්‍රහයන්ගෙන් වැඩිම ඈතින් ඉන්න ග්‍රහයා හොයා ගන්න පුලුවන්. එකම රාශියක හා එකම නවාංශකයක ඉන්න ග්‍රහයෝ ගැන මම පස්සේ කියලා දෙන්නම් දැනට එහෙම අය මාව සම්භන්ධ කරගන්නකො.. 

ඉතින් මේ විදිහට වැඩිම දුරක් ගිය ආත්මකාරක ග්‍රහයා හොයාගෙන ඊට පස්සේ එයා ඉන්න නවාංශකය මොකක්ද කියලා බලන්න ඕන. විශේෂයෙන් කියන්න ඕනේ ආත්මකාරකයා හොයනකොට කේතුව සලකන්නේ නෑ. ආත්මකාරකයා ඉන්න නවාංශකයෙන් 12 වැන්නේ ඉන්න ග්‍රහයා ගන්න ග්‍රහයෝ කීප දෙනෙක් ඉන්නවනම් එයින් බලවත් ග්‍රහයා ගන්න කිසිම ග්‍රහයෙක් නැත්තන් නවාංශකයේ අධිපතියව ගන්න. අන්න ඒ ග්‍රහයට අදාල දෙවියන් තමයි ඔයාගේ ඉටු දෙවියන් වෙන්නේ..

රවි - ශිව දෙවියන්

සඳු - පුර පක්ෂයේ නම් දුර්ගා මෑණියන් අව පක්ෂයේ නම් කාලි මෑණියන්
              (චන්ද්‍රයාට අධිපති වන්නේ පත්තිනි මෑණියන් යයි මතයක්ද වේ.)

කුජ - කතරගම දෙවියන්

බුධ - විශ්නු දෙවියන්

ගුරු - සම්භශිව (ශක්‍ර දෙවියන් ලෙසින් ලංකාවේ සමහර ගුරු කුල වල ඉගැන්වේ)

ශුක්‍ර - ලක්ෂ්මී මෑණියන්

ශනි - විශ්නු 

රාහු - දුර්ගා දේවිය.

කේතු - ගණ දෙවියන්



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Wednesday, September 3, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්


                                පත්තිනි මෑණිවරුන් දෙදෙනෙක් ගැන දේව පුරාණයේ සදහන් වෙයිමෙහි දී අප දක්වෙන්නෙ මහ බල සම්පන්න නවගමුවෙ ශී පත්තිනි මැණියන් ගැනය. ඊට අමතරව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්තා යැයි සැලකෙන වලානේ පත්තිනි මෑණි කෙනෙක් ගැනද පැරනි පොත පතහි සදහන්වෙයි.

                               පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිඹඳ මත කීපයක් සමාජයේ පවතී තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වේ. දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන්. 

                               ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වූ අතර ඈ සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සැමියා සොයා එන විට සැමියා මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය රජුට සාප කරනවා.. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

                                     පත්තිනි මෑණියන්ගේ උපත මෙතනින් සිදුවන අතර පසුව තිසරන සරන ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන්.
                                      මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතක්.  

                                     පත්තිනි මෑණියන්ගෙන් පිහිට පතා කිරි අම්මාවරුන්ට දානය දීමත් කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පවතින සම්ප්‍රදායක් ලිපිය අවසන් කරන්න කිරි දානය දෙනකොට කියන යාදින්නය හා තව පත්තිණි මෑනියන් වෙනුවෙන් කියන ස්ත්‍රෝත්‍ර කවි ටිකක් කියා දෙන්නම්..

පූජාව පිළිගැන්වීමේදී සිදුකරන යාදින්න

"මතු බුදුවන ශ්‍රි සිද්ධ සත් පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේගේ පතිවත බල මහිමය කරනකොට ගෙන පඬි රට පඬි රජු ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු ලොවට ඔබ මහිමය පෙන්වා සත්වාරයක්‌ සත් නාමයකින් ජනතා බලය පැතුරූ සත් පත්තිනි දේවියන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්‌කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස්‌ බලා වදාරා ඔවුන්ට වැළඳී ඇති ඇස්‌වහ, කටවහ, අනවින, ලෙඩ රෝග, අතුරු ආන්ත්‍රා, ව්‍යාධි, අලපාලු, ධූරිභූත කොට ඔවුන්ගේ අඹු දරුවන්ගේ ගේ දොර, හරකාබාන, වතුපිටි, ගොවිතැන්, රැකීරක්‍ෂා මෙකී නොකී සියල්ල ආරක්‍ෂා කර ඔවුන්ගේ සියලු වියවුල්, සිත් තැවුල්, අඩුපාඩු මඟහරවා යස ඉසුර ළඟා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිකර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් සපිරිණු මෙම දානය අප විසින් පිළිගැනීමේ හේතු කොට ගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට ද අත්පත් වීමෙන් මතු බුදුවන පත්තිනි දේව ස්‌වාමීන් වහන්ස, ඔවුන් ආරක්‍ෂා කර දෙන සේක්‌වා. 
(මෙම යාදිනකුඑන් පසු කිරි අම්මාවරුන් දානය වළඳා ඔවුන් ඉදිරියේ ඇති පහන්වල වැටිදෙකින් එකක් බැගින් ගෙන අසුනින් නැගි සිට පත්තිනි දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට නමස්‌කාර කර එම වැටියේ ඇති තෙල් ගෙදර අයගේ හිස් වල ආලේප කරයි.)

පත්තිනි මෑණියන් වඳින ගාථාව

මාතරං පත්තිනිං වන්දේ
සර්ව සත්ව ශිවංකරං
දදතාං සතතං මය්‍යහං
ආරෝග්‍යං රක්ෂණං බලම්

ආරාධනා කවි

නානා සුන්දර ජන වනිතාගණ තාර පතී ඉව ශ්‍රී දෙහං
නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධං
නානා ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීර්ති ධරං
නානා ශෝභිත රත්න නිරන්තර දදාතුතෙ පත්තිනි මාතා

නානා නාගා සුර නර චන්දන මාන නිරන්තර ලද්ධානං
නානා ජාතික පූජක භක්තික චිත්තන කුන්ද විකාසිතං
නානා දෙසික නානා භූමික දෙවා මන්දිර ප්‍රජානං
නානා ශෝභන දෙහ විරාජිත දෙවි පත්තිනි රක්‍ෂා තුරං

පීනා යන මෘදු නාගාභෝගිව බාහුං යුග්මා රුචිරායං
දීර්ඝා ලෝචන මෘග අක්‍ෂි ඉව ප්‍රවාල අංකුර අධ්‍රාවං
දීර්ඝාංගුලි පංකජ පත්‍රානක විංසතියං සුමනා පුෂ්පං
දානාති නිත්‍යා පත්තිනි ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී

අතතය විතතය විතතාතය ඝන සුසිරය පංචාංගික තූය¸
ග්‍රාහික සුර නර පූජිත නිත්‍යාභිලාෂි ජන පූජා කෘත්‍යං
වාදන ගායන ගීතික ඝෝෂා කීර්තිති අශෙෂා චිරකාලං
ආතුර රක්‍ෂතු තෙ ජය මංගල ආයු ශ්‍රියා සුබ දාන කෘතං

මල් යහන් කවි

බැතිනි සත් කපෙන් බුදු බව පතන්නේ
බැතිනි රාග ගුණයෙනි ලොව බලන්නේ
බැතිනි සිතිනි දුන් පින්පෙත් ලබන්නේ
පතිනි දේවි මල් යහනට වඩින්නේ

අමා සිරි දෙන්නට
කමා වන් දුටු වරදට
පමා නොව මෙරඟට
දමා දෑතේ හලඹ නදකොට

පුරා අත හලඹත්
පුරා තද තෙද අගපත්
විරා ජිත කොමළත්
සරා නමිදිමි සුරඹ මුදුනත්

මෙමා කී කවියෙනී
දමා උවදුරු හරිමිනී
යොමා තෙද දෙවියනී
දමා දෑතේ හලඹ නද දුනී

දුහුල් පට වියනෙන්
සුනිල් තිර හත බඳිමින්
සියල් මල් පඬුරෙන්
මෙමල් යහනට දිෂ්ටිලා එන්

පුරා සලඹ නද ගොසකර වැඩම කරනවා
නුරා ළැමැද පියයුරු රන් දමින් වසනවා
ගිරා තුඩුුසෙ ගෝමර රන් බඳ දිලිසෙනවා
සරා ලාපු මල් අස්නට වැඩම කරනවා

ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන්
නුඹේ මුදුන වලා ගැබෙන් එන පුන් සඳමෙන්
ලැබේ මෙදලු මුර දිවසින් බලා හෙලාලන්
අඹේ උපන් පත්තිනි දෙවි රඟමඬලට එන්

අඹයෙන් උපන්නේ
යයි පතළව තිබෙන්නේ
රටින් රට යන්නේ
දුකින් සත මුදවා හරින්නේ

ළමා ළපටින්නේ
අමා මව කිය උන්නේ
සැමා මවු වන්නේ
මෙමා පතිනිට දුක කියන්නේ



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66
෴.෴...෴...෴.෴

Friday, August 29, 2014

බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්


                                 අපි දන්නවා බුද්ධත්වය පතන බෝධිසත්වවරුන් අප්‍රමාන කරුනාවන්ත මිනිසුන් ඇතුලු සියලුම සතුන්ට කිසිම ආත්මාර්ථ කාමි කමකින් තොරව පිහිටවන පිංවත් පිරිසක් බව. මේ අතරින් මෛත්‍රී බෝධිසත්වයන් ගැන තමයි අපි වැඩිපුර අහලා තියන්නේ. ජනතාව අතර තියන විෂ්වාසයක් තමයි නාථ දෙවියන් කියන්නේ මතු බුදුවන මෛත්‍රී බෝසතානන් වහසේ කියලා නමුත් ඒක වැරදි පිලිගැනීමක් බවයි පෙනෙන්නට තියන්නේ. මෛත්‍රී බෝසතුන් ගැන රේරුකාණේ චන්දවිමල මහ නා හිමි, හා මඩිහේ මහ නාහිමි කළ සියළු විස්තර වල සඳහන්ව ඇත්තේ මෛත්‍රී බෝසතනානන් වහන්සේ මහා සංතොඨ්ඨික නොහොත් මහා සංතොෂින දිව්‍ය රාජයා නමින් දෙව්ලොව වැඩ වාසය කරන බවය.  පොත පතෙහි සඳහන් වන්නේ නාථ දෙවියන් යනු අවලෝකිතේෂ්වර නමින් බුදුවීමට පෙරුම්පුරන දෙවි කෙනෙක් බවයි.
                                             වරක් දෙවන පරාක්‍රමබාහු රජ කාලෙ රටේ ලොකු නියං සායක්‌යාඑති වුන අතර ඒරාවස්ථාවේ මහත් සෘද්ධිබල තියෙන නාථ හා මෛත්‍රී දෙවිවරුන්ට පූජා පවත්වල සෙත් පිරිත් සඡ්ජායනා කරවල දළදා වහන්සේත් නුවර පැදකුණු කරවල වැසි ලබාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා. නාථ දෙවියන් යනු ඉතා කුඩා සතුන්ට පවා කරුනාව දක්වන දෙවි කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ. 
                                               ඉතින් මෙවැනි බෝසත් දෙවි කෙනෙක් හට පිං පෙත් අනුමෝදන් කරනවානම් එම දෙවිවරුන්ගෙන් ලෞකික දියුනුවට උපකාරත් ආපදා අනතුරු වලින් ආරක්ශාවත් ලැබෙන බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍ය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් පිහිට ලබන්නට නම් ඔවුන් පංචශීලය රකින ප්‍රථිපත්ති රකින අයවලුන් විය යුතු බවයි..                
                                         
                                                     
       
නාථ දෙවියන් හට වඳින ගථා ස්ත්‍රෝත්‍ර කීපයක්


නාථ ශ්‍රී සර්ව මංගල්‍ය
යථා දේවේන සංයුතං
සුගන්ධ දීප ධූපේන
නාථ ස්වාමි නමෝ වරම්
෴..෴..෴

දාන සීල භාවනාදී පාරමිතා පූර්ණං
දාන ශාන්ති සෞඛ්‍ය සම්ප්‍රදාන් ජනාන භුවනම්
තාවතිංස රම්‍ය දිව්‍ය වාසභනව නිත්‍යං
නාථදේව රාජ පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

මයිත්‍රී කරුණා-උපේක්ෂ මුදිතාකර සදෘශං
නයික ලෝක වාස සත්ව කල්ප වුක්ෂ සදෘශං
දයිත‍යා දිත්‍ය තයාගී චින්තන සංයුක්තං
මෛත්‍රී දේවාභිදාන ආසන ප්‍රවිෂ්ටං

අනඝ මති මනෝඤ්ං ධර්ම චින්තා නිධානම්
අනභි මුඛං ශාස්ත්‍රං අග්‍රලෝකාග්‍ර සත්-ත්වං
අමිල රුචිර දෙහං පූජනීයාන බුද්ධෝ
අමරධිපති නාථං දේවරාජං නමාමි
෴..෴..෴

දකුණු අතේ ගන රන්මිණි කලස දරන වට
ලකුණු ඇතුව හෙළා දිෂ්ටි තුසිත පුරේ සිට
දකුණු වලාසද මඩලක් සේම උදා කොට
දකුණු වාසලෙන් එළි බැස මල් දොරගාවට

රනේ කිරුළු තුංගව් දිග සළුව අදින්නේ
පෙනේ විදුලි සැර මල්දම් කරේ දිලෙන්නේ
ගෙනේ දකුණු හස්තෙට රං කලස දරන්නේ
අනේ නාථ දෙවියනි මල් අස්න වඩින්නේ

අතේ දේවගණ රන් මිණි කලස දරලා
ගතේ චන්ද්‍ර සූර්‍යා ආලෝක වඩාලා
ලතේ දිෂ්ටි ජනෙල් දොරෙන් කරුණා කරලා
රතේ පිටින් එන්ඩ මෙමල් මධුර බලාලා

සදුන් සුවද මල්පිනි දිය කස්තුරී කපුරූ
මුදුන් වියන් තිර ජවනික සේසත් පැතූරූ
යොදුන් ගණන් මිහිතල් වැට පන්දම්
උතුන් මෙ නවරත්න තිලක සුරවර කුමරූ

පාත කැළණි පුර ලක්දිව බාරව සිටගති
භූත යකුන් හට ගිනි ගිනි කියා වදා රති
මෑත කපට බුදුවන්නට විවර ලැබගති
නාථ දේව රත්න තිලක සුර පුරයෙන් එති
෴..෴..෴


වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66
….….

Monday, August 25, 2014

෴දරුවාගේ අකුරු කියවන අවස්ථාවට ස්ත්‍රෝත්‍ර෴


ගිය වතාවේ දරුවෙක්ට නිවැරදි ලෙස අකුරු කියවන්නේ කොහොමද ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය කුමක්ද කියා මා පල කල ලිපියට ගොඩක් හොඳ ප්‍රථිචාර ලැබුනා. ඒක කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්න. ඉතින් එදා ලිපියේ ඉතුරු ටික ඒ කියන්නේ පොරොන්දු වුන විදිහටම ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට කියන ස්ත්‍රෝත්‍ර කීපයක් ඔයාලට කියලා දෙන්නයි අද ලෑස්ති වෙන්නේ. බොහෝ ස්ත්‍රෝත්‍ර අතරින් බලගතු ඒ වගේම ආධුනිකයෙක්ට වුනත් වචන උච්චාරනය කරගන්න පහසු වෙන විදිහට ලියවුනු ස්ත්‍රෝත්‍ර කීපයක් තමයි දෙන්න බලාපොරොත්තුව. ඉතින් තව පරක්කු නොකර අපි ඒ ස්ත්‍රෝත්‍ර බලමු.



ගණ දෙවියන් සඳහා කෙටි ස්ත්‍රෝත්‍රයක් 

වක්‍ර තුණ්ඩ මහා කාය
සූර්ය කෝටි සමාප්‍රභාම්
නිර්විග්නම් කුරුමේ දේව
සර්ව කාරේ සුසර වදාම්

තවත් ස්ත්‍රෝත්‍රයක් 

ඕම් ශ්‍රී ගණේෂාය නමහඃ ෴ නාරද වුවාච ෴

ප්‍රණම්ය සිරසා දේවම් ෴ ගෞරී පුත්‍රම් විනායකම්෴
භක්තාවාසම් ස්මරේන්නිත්‍යම්෴ ආයුඃකාමාර්ථ සිද්ධයේ෴

ප්‍රථමං වක්‍රතුණ්ඩම් ච ෴ ඒකදන්තම් ද්විතීයකම්෴
තෘතීයම් කෘෂ්ණපිංගාක්ෂම්෴ ගජවක්ත්‍රම් චතුර්ථකම්෴

ලම්භෝදරම් පංචමම් ච ෴ ෂෂ්ටම් විකටමේව ච ෴
සප්තමම් විග්ණරාජම් ච ෴ ධූම්‍රවර්ණම් තථාෂ්ඨමම් ෴

නවමම් බාල චන්ද්‍රමම් ච ෴ දශමම් තු විනායකම් ෴
ඒකාදශම් ගණපතිම් ෴ ද්වාදශම් තු ගජාණනම් ෴

ද්වාදශයිස්ථානි නාමානි ෴ ත්‍රිසන්ධ්‍යම් යඃ පඨේත් නරඃ ෴
න ච විග්න භයං තස්‍ය ෴ සර්ව සිද්ධි කරම් පරම් ෴

විද්‍යාර්ථී ලභතේ විද්‍යාන් ෴ ධනාර්ථී ලභතේ ධනම් ෴
පුත්‍රාර්ථි ලභතේ පුත්‍රාන් ෴ මෝක්ෂාර්ථී ලභතේ ගතිම් ෴

ජපේ ගණපතිස්තෝත්‍රම් ෴ ෂඩ්භිර්මා සන් ඵලම් ලභේත් ෴
සංවත්සරේන සිද්ධිම් ච ෴ ලභතේ නාත්‍රා දශම්ශය ෴

අෂ්ඨභ්‍යෝ බ්‍රාහ්මණේභිෂ් ච ෴ ලිඛිත්වායඃ සමර්පයේත්
තස්‍ය විද්‍යා භවේත් සර්වාඃ ෴ ගණේෂස්‍ය ප්‍රසාදතා෴

ඉති ශ්රී‍ නාරද පුරාණෛඃ ෴ ශංකස්ථ නාශනම් ෴
නාම ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ... සම්පූර්ණම් ෴







෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴-෴

සරස්වතී මෑණියන් සඳහා කෙටි ස්ත්‍රෝත්‍රයක්. 

සරස්වතී මහා දෙවී  වීණා පුස්ථක ධාරිනී  
හංසවාහිනී සමායුත්තේ   විද්‍යා දානං කුරූ මම  
සරස්වතී භජං මයිහං වරදේව කාමරූපනේ  
විද්‍යාරබ්බං කරිස්සාමී සරස්වතී භජම්ස්තු මේ   

තවත් ස්ත්‍රෝත්‍රයක්

සරස්වතී මහාභද්‍රා, මහාමයා වරප්‍රදා
ශ්‍රීප්‍රදා පද්මනිලයා, පද්මාක්ශී පද්මවක්ත්‍රගා
ශිවානුජා පුස්ථකධෘත්, නාන මුද්‍රා රමාපරා
කාමරූපා මහාවිද්‍යා, මහාපාථක නාශිනී

මහාශ්‍රයා මාලිනී ච, මහාභෝගා මහාභුජා
මහාභාගා මහෝසාහා, දිව්යංගා සුර්වන්දිතා
මහාකාලී මහාපාශා, මහාකාරා මහංකුශා
සීතාච විමලා විශ්වා, විද්‍යුන්මාලා ච වෛශ්නවී

චන්ද්‍රිකා චන්ද්‍ර වදනා, චන්ද්‍රලේඛා විභූශිතා,
සාවිත්‍රී සුරසා දේවී, දිව්යා-ලංකාරභූශිතා.
වාග්දේවී වසුධා තිව්රා, මහාභද්‍රා මහාබලා
භෝගදා භාරතී භාමා, ගෝවින්දා ගෝමතී ශිවා

ජටිලා වින්ද්‍ය-වාසා චා, වින්ද්‍යාචල විරාජිතා
චන්ඩිකා වෛශ්නවී බ්‍රාහ්මී, බ්‍රහ්ම-ඥානේ කසාධනා
සෞධාමිනී සුධාමූර්තී, සුභද්‍රා සුර-පූජිතා,
සුවාසිනී සුනාසා චා, විනිද්‍රා පද්මලෝචනා.

විද්‍යාරූප විශාලාක්ශී, බ්‍රහ්ම ජයා මහාබලා
ත්‍රෛමූර්තී ත්‍රිකාලග්න්‍යා ත්‍රිගුනා ශාස්ත්‍ර රූපිනී
ශුම්බා-සුර-ප්‍රමතිනී. ශුබදා ච සවරාත්මිකා,
රක්ත-බීජ නිහන්ත්‍රී චා, චාමුන්ඩා චාන්ද්‍රිකා තථා

මුන්ඩ කාය-ප්‍රහරණා, ධූම්‍රලොචන-මර්ධනා
සර්වදේව-ස්-ස්ථුතා සෞම්‍යා, සුරාසුර නමස්කෘතා
කාලරාත්‍රී කලාධාරා, රූප සෞභාග්‍ය-ධායිනී
වාග්දේවී ච වරාරෝහා, වරාහි වාරිජාසනා.

චිත්‍රාම්බරා චිත්‍රගන්ධා, චිත්‍ර-මාල්‍යා විභූශිතා
කාන්තා-කාමප්‍රදා වන්ද්‍යා, විද්‍යා-ධර සුපූජිතා
ශ්වේතා-මනා නීලභුජා, චතුර්වර්ග-ඵලප්‍රදා.
චතුරාමන සම්‍රාජ්‍යා, රක්තමධ්යා නිරංජනා.

හංසාසනා නීලජංඝා, බ්‍රහ්ම විශ්නූ ශිවාත්මිකා
ඓවම් සරස්වතී දේව්යා, නාම්-නාම් අශ්ටෝත්තරම් ශථම්
ඉතී ශ්‍රී සරස්වතී ශතනාමාශ්ටෝත්තරම් සම්පූර්ණම්

ඕම් ශාන්ති.., ශාන්ති.., ශාන්තිඃ... 






මේ සරස්වතී මෑණියන් හා ගණ දෙවියන් උදෙසා රචනා වී ඇති බලවත් ස්ත්‍රෝත්‍ර කීපයකි. දරුවාට අකුරු කියවන අවස්ථාවේදී මේ ස්ත්‍රෝත්‍ර භාවිතයෙන් යහපත් ප්‍රථිපල අත් කරගත හැක






වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
+94755 004 166

Thursday, August 21, 2014

෴දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴


අද දෙමාපියන් බොහෝ කාර්‍යය බහුලය. මේ නිසා සියල්ල ලේසියට හා පහසුවට කරගන්නට නිතරම සිතයි. සමහර විට තම දරුවන්ගේ කාර්‍ය්යන් වලදී පවා නොදැනුවත් කම නිසා හෝ නොසැලකිල්ල නිසා චාරිත්‍ර වාරිත්‍ර මගහරින්නට පෙලඹෙන බවක් දැන් දැන් පෙනෙන්නට ඇත. මේ ලෙසින් බොහෝ දෙමාපියන් හට අතෑරෙන දෙයක් ලෙස දරුවාට අකුරු කියවීමේ චාරිත්‍රය පෙන්වා දිය හැක. ජ්‍යොතිර්වේදියෙක් ලඟට ගොස් වෙලාවක් සකස් කරගෙන එන දෙමාපියන් කඩේ තිබෙන හෝඩි පොතක් ගෙන නියමිත වෙලාවේදී එය දරුවාට කියවීමට දැන් දැන් පුරුදු වී ඇත. මේ දේ මෙසේ සිදුවීම ගැන ජ්‍යොතිශ කඩ කරගෙන යන අයද වග කිව යුතුය. මන්ද ඔවුන් තමා වෙත එන අයට මුදලට නැකත සාදා දී කලයුතු වත් පිලිවෙත් කියා දෙන්නේ නැත. සරස්වතී පුජාවක් තැබිය යුතු බව කියා එයින්ද ගානක් කඩාගන්නට උත්සහ කරයි. ඔවුන් එයට එකඟ නොවුනොත් නැකත පමනක් ලබා දී නිකන්ම අත පිසදාගනී. කලයුතු චාරිත්‍ර වාරිත්‍ර කියා දීමක් නැත. කෙසේ නමුත් අදූරට සාප කරනවාට වඩා එක පහනක් දැල්වීම උතුම් නිසා මෙහි නිවැරදි ක්‍රමය ඔබට කියා දීමට අදහස් කලෙමි.

සුභ මුහුර්ථය සාදවා ගැනීම
මුලින්ම දරුවාට අවුරුදු දෙක සම්පූර්ණ වී ලබන තුන්වෙනි අවුරුද්ද තුල හෝ අවුරුදු හතර සම්පූර්න වී ලබන පස්වන අවුරුද්ද තුල අකුරු කියවීම සුභය. ඉන් පසු කලයුත්තේ පවුලේ ජ්‍යොතිර් වෙදියා වෙත ගොස් දරුවාට අකුරු කියවීමට සුදුසු සුභ මුහුර්ථයක් සකස් කරගත යුතුය. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් ඇත. බොහෝ දෙමාපියෝ අප වෙත පැමින අසවල් දවසට නැකතක් සාදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවැන්නන්ට මා නම් දෙන පිලිතුර වන්නේ දවස තෝරාගත් ආකාරයෙන්ම වේලාවද තෝරාගන්නා ලෙසය. මා අනුමත කරන ක්‍රමය වන්නේ දරුවාට අවුරුදු දෙක සම්පූර්න වූ පසු ඉදිරි වසර තුල තිබෙන යහපත්ම සුභ මුහුර්ථය සකස් කර ගැනීමයි. 


චාරිත්‍ර
මේ සඳහා තුන්වරුවක් වත් අඩුම තරමේ නිර්මාංශව සිටීමට හැකි නම් අගනේය. තෝරා ගත් දිනයේ උදෑසන ආසනයක් සකස් කල යුතුය.  එය පිරිසිදු මෙන්ම යකඩ ඇණ නොගැසූ එකක් වීම අනිවාර්‍යය කරුණකි. 
පළමුව සුදු රෙද්දක් එළා ඒ මත බුද්ධ රූපය හා සරස්වතී දේව මෑණියන්ගේ හා ගණ දෙවියන්ගේ රූප තබන්න.( බුද්ධ රූපය මඳක් ඉහලින් තබන්න. අනෙක් රූප දෙක බුද්ධ රූපය දෙපැත්තෙන් තබන්න) බුද්ධ රූපය අසල මල් තබා පහනක් දල්වන්න. ඉන් පසුව බුලත් කොල 10ක් ගෙන මැටි පහනක් ඉන් එක බුලත් කොලයක් මත තබා එම බුලත් කොලයේ උරච්චිකරන ලද සුදු හඳුන් ටිකක් ගාන්න.(සදුන් කුඩු තලපයක් සේ දිය කර ගත්තද ගැටලුවක් නැත) ඒ ලෙසම තවත් බුලත් කොල 9ක් කෙසෙල් කොලය මත රවුමට තබන්න.(නැටි පිටට හිටින සේ) එම බුලත් කොල මත ද පෙර සේම සුදු හඳුන් ගාන්න. සෑම බුලත් කොලයක් මතම පඩුරු කාසිය බැගින් තබන්න.  කලින් දෝවනය කරන ලද මල් බුලත් කොල මත තබන්න. (සරස්වතී දේවිය අසල නෙලුම් කොලයක් මත රතු නෙලුම් මලක් තබන්න. ගණ දෙවි රූපය අසල කෙසෙල් කොලයක් හෝ අඹ කොල මත පිච්ච හා සුදු නෙලුම් තබන්න.) පහන් දෙකක්ද තබන්න. බුද්ධ පුජාව තබා දරුවා සමග පන්සිල් ගන්න ඉන්පසුව බුලත් අත් දෙකක් ගෙන අතුරා සකස් කරන ලද පූජා වට්ටි දෙක තබන්න.

මෙසේ පූජාව තබා දේවාරධනා මන්ත්‍ර ජප කර කහදිය කොතල ජපකර තැඹිලි ජප කර දේව වරම් ගෙන මෙය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමය වුවද මෙහිදී දරුවාගේ දෙමාපියන්ට වුවද කලහැකි ලෙස මෙම කාර්යය කරන ආකාරය කියාදීමට බලාපොරොත්තු වෙමි.

 පෙර කී ලෙස පූජා වට්ටිය තබා තමා සර්ස්වති හා ඝන දෙවියන් සඳහා කියන්නා වූ ස්ත්‍රෝත්‍ර දන්නේ නම් ඒවා කීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පිහිට වන ලෙස ඉල්ලා සුදුසු වෙලාව ලැබූ විට අකුරු කියවීම මැනවි. අකුරු කියවු පසු පූජා වට්ටි වල ඇති පලතුරු නිවැසියන්ද කුඩා දරුවන්ද අනුභව කර සතුන්ටද දෙන්න..

පූජා වට්ටිය
අන්නාසි  සමගින් පළතුරු 9ක් ද කැවිලි වර්ග ද 9ක් ද (තල ගුලි හෝ කැරලි,උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද තබන්න) පුජාවට්ටියකට තබන්න ‍(ගෙඩි පූජාව තබන විට දී මෙන් පළතුරු ගෙඩි පිටින් ඇස්ස පමණක් කපා තබන්න. ගස්ලබු තැබීම සුදුසු නොවන බව ආචාර්‍ය මතයයි) 
සරස්වතී දේවියට තබන පූජා වටියට බෙලි කොළ මාලයක් හා ගණ දෙවි යන්ට තබන පූජා වට්ටියට අඹ කොළ මාලයක්
හබලපෙති
වීපොරි
පිනිදිය (බෙහෙත් බඩු කඩ වලින් ගත හැක)
පඩුරු
ගිතෙල් හා මීපැණි 
උක් හකුරු
කිරි බත්
කළු උක්

අකුරු කියවීමේ සුභ අක්ෂර පිලිවෙල

පළමුව ස්වස්ථි සිද්ධම්! යන වැකිය දරුවා ලවා තුන් වරක් කියවන්න. දරුවා කෙබඳු ආකාරයකට මෙම වැකිය උච්චාරනය කලද අකුරු කියවන වැඩිහිටියා මෙය නිවැරදි ලෙස උච්චාරනය කල යුතුය.

ඉන්පසු දේව අක්ෂර වලින් අකුරු කියවීම ආරම්භ කල යුතුය ඒ අකුරු පිලිවල මෙසේය.


ස ත ද ව ට ඉ ඔ 
උ ප ග හ බ ඊ සා
ඩා තා වා පා දා ඌ ඕ

ඉන්පසු සංක්‍යා කියවන්න මුලින්ම දරුවාගේ ජය අංකය කිය වන්න ඉන්පසුව 1 සිට 10 දක්වා ඉලක්කම් පිලිවෙලින් කියවන්න
අංක කියවූ පසුව හෝඩි පොතක් ගෙන සිංහල හෝඩිය පිලිවෙලින් කියවන්න.

මෙහිදී විශේෂයෙන් සැලකිලි මත් විය යුතු දෙයකි. එනම් අකුරු කියවීමේදී "ස"යන්න "ත"යන්න ලෙස නොව ස ත ලෙස අකුරේ ශබ්ධය කියවීම අනිවාර්‍යයයි.

අකුරු ලියවන විට දරුවා ලවා මුලින්ම ඔහුගේ නම ලියවන්නේ නම් මැනවි.

සරස්වතී මෑනියන්ට හා ගණ දෙවියන්ට කියන්නාවු ස්ත්‍රෝත්‍ර මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
+94 755 00 41 66