Monday, April 26, 2021

දවසේ සතියේ පලාපල හරිද?

 හරියටම අවුරුදු 5ක් මෙ බ්ලොග් එකට අන්තිම ලිපිය ලියලා.. ඇත්තටම මම හිතුවා මාස පහක් හයක් යනකොට බ්ලොග් එක එහෙම්මම යට ගිහින් මිනිස්සුන්ට මෙහෙම ජ්‍යොතිර්වේදියෙක් හිටියා කියන එකත් එහෙම්මම අමතක වෙලා යයි කියලා. නමුත් අවුරුදු පහක නිහැඬියාවකට පස්සෙත් බ්ලොග් එකට ලැබෙන ප්‍රතිචාර හා එන දුරකථන ඇමතුම් අවසන් වුනේ නෑ. ගොඩක් දෙනාගේ ඉල්ලිම වුනේ ආයෙත් හඳහන් බලන්න පටන් ගන්න ආයෙත් ලියන්න පටන්ගන්න ආයෙත් පංති පටන් ගන්න කියන එක.  සෑහෙන්න හිතලා ඔන්න ආයෙත් ලියන්න හඳහන් බලන්න වගේම ඉදිරි කාලයේදි ආයෙත් පංතියත් (අගස්ත්‍ය පාඨමාලාව.) පටන් ගන්නත් තීරනය කලා.

හරි ඒ කතාව පැත්තකින් තියලා අපි අද මාතෘකාවට බහිමු.  

සාමාන්‍යයෙන් අපේ උපන් කේන්ද්‍රය කියන්නේ අපි ඉපදෙන මොහොතේ ග්‍රහයන්ගේ පිහිටීම. නමුත් ඊට පස්සේ ග්‍රහයන් එතන නවතින්නේ නෑනේ. ඒවා සුපුරුදු ලෙසම ගමනේ යනවා. මේ ග්‍රහයන් මෙහෙම එක එක කොටුවෙන් කොටුවට (භාවයෙන් භාවයට.) ගමන් කරන එකට අපි කියනවා ග්‍රහයන්ගේ ගෝචර ගමන කියලා. උපන් කේන්ද්‍රය වගෙම මේකත් අපේ ජීවිතයට බලපානවා. 

එතකොට කොහොමද මේ දවසේ සතියේ පලාපල කියන්නේ?

දවසේ පලාපල කියන්නේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මුල් කරගෙන. චන්ද්‍රයා හඳහනේ එක කොටුවක (එක භාවයක,) ඉඳලා තවත් කොටුවකට යන්න දවස් එකහමාරක කාලයක් තමයි යන්නේ. සාමා‍යයෙන් ගත්තම මේක තමයි ග්‍රහයන්ගෙ කුඩා කාලයකදී වෙන ප්‍රධාන වෙනස. ඉතින් මේ නිසා චන්ද්‍රයා එක රාශියකින් තව එකකට ගියාම ඒ තැන චන්ද්‍රයාට කොහොමද කියලා ඒ ඒ ලග්නය අනුව බලලා පලාපල විස්තරයක් කියන එක තමයි මේ දිනපතා සතිපතා පලාපල කියනවා කියලා කරන්නේ.



එතකොට මොකක්ද මේකේ අවුල?

අවුල තමයි පලාපලයක් කියන්න ඒ විස්තරය විතරක් ප්‍රමානවත් නැති එක. ජ්‍යෝතිශයට අනුව නිවැරදි පලාපලයක් කියන්න නම් ඒ පුද්ගලයගෙ උප්පත්තියෙන් ග්‍රහ පිහිටිම දැනගැනීම අනිවාර්‍යයි. මොකද ඒක තමයි අත්තිවාරම. ඒ වගේම ඒ පුද්ගලයා ගත කරන දසාව මොකක්ද කියන එකත් අනිවාර්යයි. මේ දෙකම නැතිව චන්ද්‍රයා ගෝචර වෙන විදිහ දිහා විතරක් බලලා පලාපල කියනවා කියන්නේ අර අන්ධයෝ ටික අලියා ගැන විස්තර කිව්වා වගේ වැඩක්. 

ඇත්තටම මේ දවසේ සතියේ පලාපල කියන එක කරලියට එන්නේ ඉන්දියාවෙන්. එහේ දිනපතා පත්තර ටික විකුනගන්න එයාලා කරපු වැඩක් තමයි මේ. අපේ ටීවී චැනල් වලත්  විව්ස් හදාගන්න හැමදාම උදේ පාන්දර මේවා පෙන්නනවා. මේ දවස්වල අහවල් ලග්නෙට අසනීප වෙන්න අවධානමක් තියනවා කිව්වම ඉතින් ලක්ෂ ගානක් ඒ ලග්නේ තියන මිනිස්සුන්ගෙන් 10% හරි අසනිප වෙනවා. එයාලා මේක හරි කියලා හිතද්දී ඉතුරු හැමොම හිතනවා මේ විශය බොරුවක් කියලා. අන්න එකයි මෙතන ගැටලුව. අනික් ගැටලුව තමයි මේ විශය විශ්වාස කරන මිනිස්සු අර මනුස්සයා කියන දේ අහලා හිත කලබල කරගන්න එක. සමහරවිට තමන්ට ඒ සතිය නරක නැතත් අර මනුස්සයා කියපු නිසා සතිය පටන්ගන්නකොටම මේ සතිය තමන්ට හොඳ නෑ කියලා මානසික රාමුවක් හදාගන්න එක. ඉක්මනින්ම තවත් ලිපියකින් හමුවෙමු. 

සිද්ධි රස්තු
වෛදික ජ්‍යෝතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166