Monday, May 23, 2016

ක්‍රියාකාරී අසුභයන්


යම් ග්‍රහයෙක්ගේ මුලත්‍රිකොන රාශිය යම් ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථානයක් (6, 8, 12) බවට පත් වේ නම්, එම ග්‍රහයා එම ලග්නයට ක්‍රියාකාරී අසුභයෙකි. 

ග්‍රහයන්ගේ මුලත්‍රිකොන රාශි පහත පරිදි වේ.

රවි -  සිංහ
චන්ද්‍ර - වෘෂභ
කුජ - මේෂ
බුධ - කන්‍යා
ගුරු - ධනු
ශුක්‍ර - තුලා
ශනි - කුම්භ
රාහු - කුම්භ
කේතු - සිංහ



රාහු හා කේතු සැම ලග්නයකටම ක්‍රියාකාරී අසුභයන් ලෙස සැලකේ.

ලග්නය
ක්‍රියාකාරී අසුභයන්
මේෂ
බුධ, රාහු, කේතු
වෘෂභ
කුජ, සිකුරු, ගුරු, රාහු, කේතු
මිථුන
රාහු, කේතු
කටක
ගුරු, සෙනසුරු, රාහු, කේතු
සිංහ
චන්ද්‍රයා, රාහු, කේතු
කන්‍යා
රවී සෙනසුරු, කුජ, රාහු, කේතු
තුලා
බුධ, රාහු, කේතු.
වෘශ්චික
සිකුරු, කුජ, රාහු, කේතු.
ධනු
චන්ද්‍ර, රාහු, කේතු
මකර
රවී, ගුරු, රාහු, කේතු.
කුම්භ
චන්ද්‍ර, බුධ, රාහු, කේතු
මිණ
රවී, සිකුරු, සෙනසුරු, රාහු කේතු.

කෘර සෞම්‍ය ගුණය කෙසේ වෙතත් මෙම ක්‍රියාකාරී අසුභයන් ඒ ඒ ලග්නයට අසුභ පල දීමට වැඩි සම්භාවිතාවක් ඇත. අනෙක් ග්‍රහයන් වෙතින් ලැබෙන දෘෂ්ටි සංයෝග අනුව හා ග්‍රහයා තැම්පත් වන ස්ථානය අනුව මේ තත්වය අඩුවැඩි වීමට හැකියාවක් ඇත.

මෙහිදී යම් ක්‍රියාකාරී අසුභයෙක් එම කේන්ද්‍රයේ ලග්නාධිපතියාද වේ නම් එම ග්‍රහයා ක්‍රියාකාරී අසුභයෙක් ලෙස කටයුතු නොකරයි. ඒ අනුව වෘෂභ හා වෘශ්චික යන රාශිදෙකේ පිළිවලින් සිකුරු හා කුජ යන ග්‍රහයන් දෙදෙනා ක්‍රියාකාරී අසුභයන් ලෙස ක්‍රියා නොකරයි.


වේදීය ජ්‍යෝතිශවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166

Sunday, May 15, 2016

නීච බංග රාජ යෝගය. (විස්තරාත්මක)


අද උදේ ඉඳලා වහින නිසා අද උදේ ජ්‍යෝතිෂ පන්තිය පවත්වන්න වුනෙත් නැ. ඒ නිසා අද ටිකක් වෙලාව ඉතුරු වුනා. ඉතින් මම හිතුවා නිකන් ඉන්න වෙලාවේ ටිකක් විස්තරාත්මකව වැදගත් දෙයක් ගැන ලියන්න ඕන කියලා.
අද ලියන්න යන්නේ නීච බංග රාජයෝගය ගැන. ඇත්තටම බංග කිව්වම අපි හිතන්නේ සම්පුර්ණයෙන්ම නැතිවෙලා යනවා කියන එක. වචනාර්තයත් එහෙම නිසා එහෙම හිතීමේ වරදක් නැ. නමුත් ඇත්තටම නීච බංග කියන්නේ එකමද?
මේක ගැන කතාකරන්න නම් අපි ඉස්සෙල්ලම නීච ග්‍රහයෙක් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න ඕනා. ග්‍රහයෙක් නිචවෙන්නේ තමන් ඉන්න රාශියේ ස්වාභාවය හා ලක්ෂණ නිසා තමන්ගේ ස්වාභාවයෙන් තමන්ට අයිති ගතිලක්ෂණ ප්‍රකාශ කරගන්න බැරි වුනාම. මේ නිසා ඒ ග්‍රහයා පිඩාවට පත්වෙනවා.  රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන ග්‍රහයින් පිලිවෙලින් තුලා, වෘශ්චික, කටක, මිණ, මකර, කන්‍යා, මේෂ, වෘශ්චික හා වෘෂභ යන රාශි වල නිචත්වයට පත්වෙනවා. (රාහු හා කේතුගේ නිචත්වය සම්භන්ධව ගැටළු සහගත තත්වයක් තියනවා. ඉදිරියේදී මේ ගැන වෙනම ලිපියක් දාන්නම්)

මෙතැනදී බංග වීම කියන්නේ තවත් ග්‍රහයෙක්ගේ උපකාරයෙන් තමන් සිටින අපහසු තත්වයෙන් අස්වැසිල්ලක් ලැබීම කිව්වොත් වඩා නිවැරදියි. ඒ කියන්නේ තත්වයෙන් සම්පුර්ණවම මිදෙන්නේ නැති වෙන්න වුනත් ඉඩ තියනවා. සමහරවිට පිහිටීම අනුව මේ අස්වැසිල්ල ඉතා බලවත් එකක් වෙන්නත් පුළුවන්.

ඊළඟ වචනය තමයි රාජ යෝගය කියන එක. හැම නීච බන්ගයක්ම රාජ යෝගයක්ද? (අපි අහලා තියන්නේ නීච බංග රාජයෝග කියලමනේ) නීච බංග වීම නීච බංග රාජයෝගයක් වෙන්නේ එය කෙක්න්ද්‍රස්තානයක (කේන්ද්‍රයේ 1,4,7,10 ස්ථාන) සිදුවෙනවානම්.

මම හිතන්නේ දැන් මාතෘකාව ගැන අවභෝධයක් ඇති. දැන් අපි කතාකරමු නීච බංග වෙන විදි ගැන.


01. නීච ග්‍රහයා සිටින රාශි අධිපතියා කේන්ද්‍ර ස්ථානයක (ලග්නය ,4, 7, 10) තැම්පත්ව සිටීම.

උදාහරණයක් ලෙස සුප්‍රසිද්ධ දීපක් චොප්රා ගේ ජන්මපත්‍රය දෙස අවධානය යොමු කරමු
22 October 1946 at 15:45 (= 3:45 PM ) New Delhi, India, 28n36, 77e12




මේ හඳහනේ රවි ඉන්නේ තුලා රාශියේ නීච වෙලා. නමුත් මේකේ තුලාව අයිති සිකුරු තම්පත්වෙලා ඉන්නේ කේන්ද්‍රස්ථානයක් වෙන 10 වැන්නේ. මේ නිසා මේකේ රවිගේ නිචත්වය බංගවෙලා තියනවා. අපි කවුරුත් දන්නවා දීපක් චොප්රා අධ්‍යාත්මික දියුණුව පැත්තට බර ඒ වගේම ඉතාම ධනවත් කෙනෙක් බව.


02. නීච ග්‍රහයා සිටින රාශියේ උච්ච වන ග්‍රහයා කේන්ද්‍රස්ථානයක තැම්පත් වීම.

ඒ කියන්නේ උදාහරණයකට ගුරු ග්‍රහයා ගත්තොත් ගුරු නීච වෙන්නේ මකර රාශියේ එතකොට මකර රාශියේ උච්ච වෙන කුජ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක තප්මත් වුනොත් ගුරුගේ මේ කියන නිචත්වය භංග වෙනවා.

උදාහරණයකට අපි ගමු ලෝකප්‍රසිද්ධ ගායිකාවක් වන සුසන් බොයිල් ගේ හඳහන
1 April 1961 at 09:50 (= 09:50 AM ) Bangour Village Hospital, Scotland, 55n5525, 3w33



මේ හඳහනේ ගුරු ග්‍රහයා අටවැන්න වන මකරයේ නීච වුනත් මකරයේ උච්ච වෙන කුජ ඉන්නේ ලග්නයේ. මේ නිසා නිචත්වය බංග වෙන පිහිටීම යෙදෙනවා. සුසන් බොයිල් කවුද කියලා දන්නේ නැත්තන් පල්ලෙහා වීඩියෝ එක බලන්නකෝ.



හරි දැන් මහන්සි නිවෙන්න ඇතිනේ. එහෙනම් යමු ඊළඟ කොටසට


03. නීච ග්‍රහයා යම් රාශියක උච්ච වෙනවද අන්න ඒ රාශිය අධිපතියා කේන්ද්‍රස්ථානයක සිටීම

මෙහෙම කිව්වම ටිකක් පැහැදිලි මදි වගේ නේද? හිතන්න හඳහනේ සිකුරු නිචයි කියලා. සිකුරු නීච වෙන්නේ කන්‍යා රාශියේ. මේ නීච සිකුරු උච්ච වෙන්නේ මිණ රාශියේ. නීච සිකුරු උච්ච වෙන මිණ රාශියේ අධිපතියා (වන ගුරු) කේන්ද්‍ර ස්ථානයක හිටියොත් මි සිකුරුගේ නිචත්වය බංග වෙනවා.

උදාහරණයකට ලෝක පුජිත පාපන්දු ක්‍රීඩක පෙලේ ගේ හඳහන බලමු.
 21 October 1940 at 03:00 (= 03:00 AM ) Três Corações (Minas Gerais), Brazil, 21s4149, 45w1512
BZT h3w (is standard time)



මේ හඳහනේ සෙනසුරු නිචයි. නමුත් සෙනසුරු උච්ච වෙන තුලා රාශිය අධිපති සිකුරු කේන්ද්‍රස්ථානයක තැම්පත් වෙලා ඉන්නේ. මේ නිසා නීච බන්ගයක් මේ හඳහනේ යෙදීලා තියනවා.


04. හඳහනේ නීච ග්‍රහයා නවාම්සයේ උච්ච වීම.

මෙයින් නිවේදනය වෙන්නේ ග්‍රහයා නීච වුනත් එයට ප්‍රතිවිරුද්ධව නැගී ඉන්න පුර්ව කර්ම මත ශක්තිය ඇති බවයි.
උදාහරණයකට අපි හැමෝම වගේ කැමති රංගන ශිල්පිනියක් හා නිරුපන ශිප්ලිනියෙක් වෙන නයෝමි කැම්බල් ගේ හඳහන දිහාවට අවධානය යොමු කරමු.

22 May 1970 at 00:52:32 (= 12:52 AM ) Westminster, England, 51n30, 0w09
MET h1e (is standard time)

  

මේ හඳහනේ හතර වැන්නේ එහෙමත් නැතනම් මව ක්‍රමවත් අධ්‍යාපනය ගෙවල් දොරවල් හා උපන් බිම ගැන කියවෙන ස්ථානයේ සෙනසුරු නීච වුනත් නවාම්සයේ සෙනසුරු උච්චයි. ඇය උපදිනවිට අයගේ මව අවුරුදු 19 අඩු (teenage Mom) කෙනෙක් වූ අතර පියා ගැන සඳහනක් නැත. මවට ඇගේ අධ්‍යාපන වියහියදම් පවා දැරීමට නොහැකි වූ අතර ඇය අයගේ දියුණුව තනිවම සලසාගත් කෙනෙකි.

05. නීච ග්‍රහයෙක් තවත් නීච ග්‍රහයෙක් විසින් දැකීම.

ඔබව පාසල් කාලයේ පන්තියෙන් පිටත දණගස්වා තිබේද? එවිට අල්ලපු පන්තියෙත් කෙනෙක්ව දැනගස්සලා තියනවා දැක්කම අර මුලින් තිබ්බ තත්වයට වඩා පොඩි මානසික සහනයක් දැනුනා නේද? මේකත් අන්න ඒ වගේ දෙයක්.

උදාහරණයක් බලමු.
සුප්‍රසිද්ධ ගත්කතුවරයෙක් වූ ඔට්ටෝ ෆ්ලෙක්
29 October 1880 at 04:00 (= 04:00 AM ) Metz, France, 49n08, 6e10




මෙහි සෙනසුරු මේෂ රාශියේ නිචව ඇති අතර රවි ග්‍රහයා තුලාවේ නීචය මෙහිදී දෙදෙනා එකිනෙකා වෙත දෘෂ්ටි හෙලන අතර එකිනෙකා අනෙකාගේ නිචත්වය භංග කරයි. මෙලෙස අන්යෝන්ය වශයෙන් දෘෂ්ටි නොවටුනත්. නීච ග්‍රහයෙක් වෙත තව නීච ග්‍රහයෙක්විසින් දෘෂ්ටි දීම නිසා එම දෘෂ්ටි ලබන ග්‍රහයාගේ නිචත්වය භංග වේ.

06. නීච ග්‍රහයා තමා සිටින රාශි අධිපතියා විසින් දැකීම.
උදාහරණයකට ගුරු හඳහනේ නිචයි කියා හිතමු. ගුරු නීච වෙන්නේ මකර රාශියේ. මෙහෙම වෙලාවට මකර රාශිය අධිපති සෙනසුරු විසින් ගුරුට ග්‍රහ දෘෂ්ටියක් ලබා දෙනවා නම්. ගුරුගේ නිචත්වය භංග වෙනවා.

උදාහරණයකට ජනප්‍රිය නළුවෙක් වෙච්ච රිචර්ඩ් ක්‍රෙන්නා ගේ හඳහන බලමු (රම්බෝ ෆිල්ම් ටික බැලුවනම් මෙයා තමයි රම්බෝගේ උසස් නිලධාරියා විදිහට ඉන්නේ)
30 November 1926 at 16:14 (= 4:14 PM ) Los Angeles, California, 34n03, 118w15
Timezone PST h8w (is standard time)


මේ හඳහනේ ගුරු ග්‍රහයා නමවැන්නේ නිචව ඉන්නේ නමුත් ගුරුග්‍රහයා නීච වෙලා ඉන්න මකර රාශියේ අධිපතියා ගුරු ග්‍රහයාට දෘෂ්ටියක් ලබා දෙනවා.මේ නිසා ගුරු ග්‍රහයාගේ නිචත්වය භංග වෙනවා.

මෙතැනදී විශේෂයෙන් මතක් කරන්න ඕන මේ නිචත්වය බංග වෙන්න පාදක වෙන ග්‍රහයන් හා ඒ බංග වෙන ක්‍රම අනුව ප්‍රතිපල වෙනස් වෙනවා. අපි පස්වෙනි උදාහරණයට ගත්ත ඔට්ටෝ ෆ්ලෙක් ගේ හඳහනේ නීච භංග වීම වෘතියට ඉතා යහපත් ලෙස බලපාන අතර පෞද්ගලික ජිවිතයට ලොකු උදව්වක් වෙන එකක් නෙමෙයි.


07. නීච ග්‍රහයා රාශිය අධිපතියා එක්ක සංයෝග වීම

උදාහරණයකට අපි ලෝකයේ තුන්වන ධනවතා වන warren buffet ගේ හඳහන පරික්ෂා කරමු
30 August 1930 at 15:00 (= 3:00 PM ) Omaha, Nebraska, 41n16, 95w56



මේ හඳහනේ සිකුරු කන්‍යා රාශියේ නීච වුනත් කන්‍යා රාශිය අයිති බුධ සමග සංයෝග වෙලා ඉන්නේ. රාශිය අධිපතියා නිසා බුධ රාශියේ වැඩි බලයක් ඇතුව ඉන්න නිසා සිකුරුගේ දුර්වල කමත් මැකෙනවා. හරියට කිව්වොත් ඔය දේශපාලකයෝ ගාව ඉන්න හෙන්චයියෝ වගේ. දේශපාලකයාගේ බලය නිසා හෙන්චයියගේ දුර්වලකම් යටපත් වෙනවා.

08. නීච ග්‍රහයෙක් එක්ක උච්ච ග්‍රහයෙක් සංයෝග වුනොත්

මේකත් කලින් වගේම බලවතාගේ බලය නිසා දුර්වලයා තමන්ගේ දුර්වලකම යටපත් කරගන්න අවස්තාවක්.
උදාහරණයකට ලෝකේ ධනවතා ලෙස සලකන බිල්ගේට්ස් ගේ හඳහනම බලමු
28 October 1955 at 22:00 (= 10:00 PM ) Seattle, Washington, 47n36, 122w20
Timezone PST h8w (is standard time)



මේ හඳහනේ රවි නීච වුනත් උච්ච සෙනසුරු සමගයි ඉන්නේ ඒ විතරක් නෙමෙයි 07 වෙනි නිතිය යටතේ කතා කළා වගේ නීච රවි රාශිය අධිපති සිකුරුත් එක්කත් සංයෝගයි. මේ දෙආකාරයෙන්ම රවිව බලවත් ජිරිම නිසා රවි මේ හඳහනේ සෑහෙන්න බලවත් කොච්චර බලවත්ද කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක්  නැනේ.

09. නීච ග්‍රහයා පරිවර්ථන යෝගයකට  සම්භන්ධ වීම
පරිවර්ථන යෝගය ගැන දන්නේ නැතිනම් මෙතනින්  ගිහින් බලන්න
මෙතැනදී වෙන්නේ පරිවර්තනය වුන ග්‍රහයා නිච ග්‍රහයගේ නිවෙදකත්වයන් ආරක්ෂා කරන්න උදව් කිරීම නිසා නිචත්වය බංග වීම. හැබැයි හොඳට මතක තියාගන්න මේ පරිවර්තනය මහාපරිවර්තනයක්ද නැද්ද එහෙම නැත්තන් දෛන්ය පරිවර්තනයක්ද කියන එක ගැනත් අවධානය යොමු කරන්න ඕන.

අපි උදාහරණයක් විදිහට නොබෙල් සම්මාන ලාභී ඩේවිඩ් බැල්ටිමෝර්ගේ හඳහන බලමු
7 March 1938 at 14:18 (= 2:18 PM ) Manhattan NY, USA, 40n46, 73w59
Timezone EST h5w (is standard time)






මේ හඳහනේ හත්වැන්න හා නමවැන්න අතර මකා පරිවර්තනයක් සිදුවෙලා තියනවා වගේම ගුරු ගේ නිචත්වය බංගවෙලා නීච බංග රාජයෝගයක් යෙදීලා තියනවා. 

ග්‍රහයෙක් නීච වෙලා ඉන්නවා දැක්කගමන් ගොඩක් දෙනා වැරදි  නිගමන වලට එනවා. නමුත් එහෙම තීරණය කරන්න කලින් සැහෙන්න පරික්ෂාවට ලක්වෙන්න ඕන කියලා දැන් තේරෙනවා නේද? අර ටි.වී පෙට්ටියේ ග්‍රහයෝ ටික අහලා නවාම්සය නැතුව පලාපල කියන අයගෙන් හඳහන් බලන අයට ඉතින් අබ සරණයි කියලා ඔයාලට හිතෙනවනම් මම පුදුම වෙන්නේ නැ.


වෛදික ජ්යෝතිෂවේදී 
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755-004166

Saturday, May 7, 2016

අපරදිග ග්‍රහ දෘෂ්ටි


යුරෝපය ඇතුළු අනෙක් අපරදිග රටවල බහුලව ජ්‍යෝතිෂයේ අයනය සලකා ගණනය කිරීම් කරන ක්‍රමය (සායන) භාවිතා වන අතර මෙම ක්‍රමයේ ග්‍රහ දෘෂ්ටි සම්භන්ධව භාවිතාවන ක්‍රමවේදයද නිරයන ක්‍රමය භාවිතා කරන අපරට හා ඉන්දියාවේ භාවිතා වන ක්‍රමයට වඩා වෙනස්ය. මෙහිදී නිරයන ක්‍රමයේදී  ග්‍රහයාගේ තෘෂ්ණාව මත (මුලික සිද්ධාන්ත නොදන්නා කෙනෙක් හට ග්‍රහයන්ගේ තෘෂ්ණාව පිලිබඳ ගැටළුවක් ඇතිවිය හැකි අතර ඉදිරි ලිපයකින් ඒ පිළිබඳව විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි) දෘෂ්ටි ලබා දෙන භාව පිළිබඳව සාකච්චා කලද අපරදිග ක්‍රමයේදී ග්‍රහයා සිටින අංශක ගණන මත ග්‍රහ දෘෂ්ටි සම්භන්ධව පරික්ෂා කෙරේ.

මෙහිදී ග්‍රහයෙක් තමන් සිටින තැන සිට (දෙපැත්තටම) අංශක 30, 60, 90 ආදී ලෙසින් විවිද අංශක ගණන් ඈතින්  සිටින ග්‍රහයන්ට දෘෂ්ටි ලබාදෙන අතර ඒ අංශක ගණන අනුව දෘෂ්ටියේ සුභ අසුභ තාව තීරණය වේ. එම අංශක ගණන් පහත පරිදි වේ

අංශක 120 (ත්‍රිකෝණ දෘෂ්ටිය)             - ඉතා සුභයි.
අංශක 60  (ෂට් කෝණ දෘෂ්ටිය)         - සුභයි
අංශක 30 (අර්ධ ෂට් කෝණ දෘෂ්ටිය)   - හීන සුභයි
අංශක 180 (සප්තම දෘෂ්ටිය)              - ඉතා අසුභයි
අංශක 60 (චතුරස්‍ර දෘෂ්ටිය)                 - අසුභයි
අංශක 45 (අර්ධ චතුරස්‍ර දෘෂ්ටිය)              - හින අසුභයි
අංශක 135 (සැස්ක්වි කොඩ්රේට් දෘෂ්ටිය) - හින අසුභයි
අංශක 150 (ක්වින්කන්ක්ස් දෘෂ්ටිය)          - හින අසුභයි


යම් ග්‍රහයෙක් හරියටම අදාළ අංශකය තුල තැම්පත් නොවුනත් ඒ ඒ දෘෂ්ටියට අදාළ බල මණ්ඩලය තුල තැම්පත් වී නම් එම දෘෂ්ටියට හසු වුවා සේ සලකයි.
එම බල මණ්ඩල වලට අදාළ අංශක ගණන් පහත පරිදි වේ.


ත්‍රිකෝණ දෘෂ්ටිය                - 8
ෂට් කෝණ දෘෂ්ටිය             - 7
අර්ධ ෂට් කෝණ දෘෂ්ටිය     - 2
සප්තම දෘෂ්ටිය                   - 8
චතුරස්‍ර දෘෂ්ටිය                    - 8
අර්ධ චතුරස්‍ර දෘෂ්ටිය            - 4
සැස්ක්වි කොඩ්රේට් දෘෂ්ටිය - 4
ක්වින්කන්ක්ස් දෘෂ්ටිය         - 2

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු දෙයකි. නිරයන ජ්‍යෝතිෂයේ භාවිතාවන සිද්ධාන්ත සායන ක්‍රමයේදීත් සායන ක්‍රමයේ සිද්ධාන්ත නිරයන ක්‍රමයේදීත් විටක පරස්පර විරෝධී විය හැක. මේ නිසා ඔබ භාවිතා කරන්නේ නිරයන ක්‍රමය නම් සායන සිද්ධාන්ත භාවිතා කිරීමේදී ගුරුවරයෙක්ගෙන් අසා භාවිතා කිරීමට සිහි තබාගන්න.



වේදීය ජ්‍යෝතිශවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166


Sunday, February 14, 2016

කුජ අපලයට ප්‍රතිකර්ම


              ග්‍රහලොව සෙන්පතියා ලෙස හැඳින් වෙන කුජ ග්‍රහයා ශරීරයේ ලේ ධාතුවට අධිපතිකම් කරන ග්‍රහයායි. මේ ග්‍රහයාගේ අපල කාලවල හදිස්සි අනතුරු, සැත්කම් වලට භාජනයවීම්, විශාල තුවාල හා උෂ්ණ රෝග ඇතිවීමත් හඳහනේ පිහිටීමට අනුව විවාහය තුල ගැටළු ඇතිකිරීමටත් වැඩි ඉඩක් තිබෙන බව පෙනෙන්නට තිබේ. කුජ ග්‍රහයාගේ අපල කාල වල පහත ප්‍රතිකර්ම කිරීමෙන් එම අපල තත්වයන් අවම කරගැනීමට හැකියාව ඇත.

 
කතරගම දෙවියන්

  • කතරගම දෙවියන්ට බාරයක් වීම.
  • ප්‍රමාණය හා හැඩය නිසි ලෙස සැකසු රතු පැහැ කොරල් මැණිකක් පැළඳීම. (මෙය ඉතා පළපුරුදු ජ්‍යෝතිර්වේදියෙක් වෙතින් විමසා සිදු කිරීම අනිවාර්යයි)
  • කොලොන් වෘක්ෂයක් පාමුල පහත මන්ත්‍රය කියමින් භාවනා කිරීම.

                  “ඕම ආං අංගාරකායේ නමඃ”

 
කුජ / මංගල්
  • ලේ දන්දීම.
  • රතු රෙදි දන්දීම.
  • අභිසම්මිදානේ යන්ත්‍රයක් පැළඳීම.
  • දිනපතා අභිසම්මිදානේ පිරිත සජ්ජායනා කිරීම.



ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන වශයෙන් පොදුවේ කල හැකි ප්‍රතිකර්මයන්ය. මිට අමතර වෙනත් ශාන්තිකර්ම බොහෝමයක් ඇතත් එම ශාන්තිකර්ම අපලයේ ස්වාභාවය සලකා බලා ජ්‍යෝතිර්වේදීන් විසින් නියම කල යුතු ඒවාය.


ජ්‍යෝතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යෝතිෂ් භාෂ්කර් (ඉන්දියා)
0755004166