Friday, November 22, 2013

෴ ත්‍රික අධිපතියන් එම භාවයන්ගේ සිටීමෙන් යෙදෙන යෝග ෴

ත්‍රික යනුවෙන් ජෝතිෂයේ හ්ඳුන්වන්නේ 6,8,12 යන ස්ථාන 3යි... මේ එක් එක් භාව අධිපතියන් ඒ භවයේම සිටීමෙන් ඉතාමත් බලවත් යෝගයන් තුනක් යෙදෙනවා ඒවා පහත ලෙස විස්තර කල හැකියි..

හර්ෂ යෝගය
6 වැන්නාධිපති 6 වැන්නේම සිටීමෙන් මෙම යෝගය යෙදෙන අතර මෙම යෝගය ජන්ම පත්‍රයේ ඇති ජන්මීන් ඉතා ශක්තිමත්, බලවත් නීරෝගී හා දරුවන්ගෙන් සැනසීම ලබන්නන් වෙන බව සඳහන් වෙනවා.

සරලා යෝගය
8 වන භාවස්ථානාධිපතියා 8 වැන්නේම සිටීමෙන් මෙම යෝගය යෙදෙනවා. මෙම යොගයෙන් උපන් තැනැත්තා දීර්ඝායුශ විඳින අතර ස්ථීර ප්‍රතිපත්තියක් මත සැපවත් ජීවිතයක් ගතකරන බව පැරනි පොත් වල සඳහන් වෙනවා.

විමලා යෝගය
12 වැන්නාධිපතියා 12 වැන්නේ සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපන් අය සකසුරුවම්, ඇනුන්ට උදව් කරන, නිදහස් මත ඇති අය වන අතර විමලා යෝගය නායකත්වයට පත්කරවන යොගයක් බව සඳහන්.

Saturday, November 16, 2013

සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග

1) සුනඵා යෝගය
යෙදන ආකාරය
රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
විපාක
සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.වහා කිපෙන සුළුය.බිය නැත.ධනවත්ය.
සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමීය,ධර්මධරය නීතිධරය අනුන් කථාවෙන් අවනත කර ගත හැකි බුද්ධිමතෙකි.
සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි. කීර්තිමත්ය. සමෘද්ධිමත්ය. ප්‍රධ්නියෙකි. 
සදුගෙන් දෙවැන්නේ සිකුරු නම් ඉඩකඩම් ඇත්තෙකි. වික්‍රමාන්විතය ශූර වීර අයෙකි. ධනවතෙකි.
සදුගෙන් දෙකේ ශනි නම් සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධිමත්ය.
2) අනඵා යෝගය
යෙදන ආකාරය
රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
විපාක
සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
සදුගෙන් දෙලහේ බුධ නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්‍ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.
3) ධුරාධුර යෝගය
යෙදන ආකාරය 
සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
විපාක
නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම,විශ්වාසදායි දැසි දසුන් ලබන අයෙකි.
4) කේමද්‍රැම යෝගය 
යෙදන ආකාරය 
සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතු ගනන් නොගැනේ)
විපාක
දිළිදුවේ.දුක්ඛිත දිවියකි.විවාහය දරුවන් මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ අසුභ ඵල හීන කරවයි

කාල සර්ප යෝගය...


මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
"කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..
මෙහි ප්‍රතිපල වන්නේ
විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය. 
කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.
කොහොමද මේක යෙදෙන්නේ?
රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී) 
විශේශ සටහන්
රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...

අත්දැකීම් 1

ඊයේ මගේ නිවසට මාගෙන් නිතරම ජෝතිශ්‍ය වැඩ කර ගැනීමට පැමිනෙන කාන්තාවක් පැමිනියාය... 
"අපේ දුවට දරුවෙක් හම්බවුනා හඳහන හදාගන්න කියලයි ආවේ..."
ගෑනු දරුවෙක් ද? කියා මා ඇසුවෙ මා ඇතුලු මා දන්න හැමෝටම මේ දින වල තොග පිටින්ම ලැබුනේ ගෑනු දරුවන් වීම නිසාය..
ඔව්නේ, හරියටම එහෙම කිව්වේ කොහොමද? 
ඇය පුදුමයෙන් මෙන් ඇසුවා
ඇය මගෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මා යම්කිසි බලයකින් එසෙ කල බව පැවසීම විය හැක..
මේ දවස් වල ගොඩක් ඉපදෙන්නේ ගෑනු ලමයි නිසයි ඇහුවේ යැයි මම කීවෙමි.(තත් කාලයෙන් කේන්ද්‍රයක් සෑදිමෙන්ද, දරුවගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම බැලීමෙන්ද මෙය ටක්කෙටම කිව හැකි නමුත් එවෙලේ නම් මා ඇසුවෙ නිකමට මෙනි )..
මෙවැනි සිද්දියක් සිදු වූ විට ලකුනු දාගැනීමට කැමති සමහරු නම් තමා සතු බලයකින් එසෙ කල බව කියා කීයක් හෝ වැඩිපුර අයකරගැනීමට පෙලඹෙන බව නම් නොරහසකි
ඇගේ මුහුන වෙනස් වුනේ, ඒ ඇය බලාපොරොත්තු වූ පිලිතුර නොවන නිසා විය හැක

එමෙන්ම උපන් වෙලාව කියූ විට ලග්නය කුමක්දැයි ක්ෂනිකව පැවසීම උගත් ජොතිර්වේදියාට කජු කනවා වැනි වැඩකි.. මීට කලකට ඉහත තාරකා වලින් පාර කියන වැඩසටහනක මෙවැනි මැජික් පෙන්නුවා මතක ඇත.. නමුත් එවා අත්භූත හැකියාවන් නොව ශාස්ත්‍රයේ ඇති සරල මූලික දේවල්ය

නමුත් නියම ජොතිශය යනු ලග්න, නවාංශක, හෝරා, ද්‍රේශ්කාන, ද්වදශාංශක හා ත්‍රිශාංශක යන කෙන්ද්‍ර 6 ම පිරික්සා පලාපල කීමයි... නමුත් අවාසනාවකට දැන් දැන් ලග්නය සහිත භාව කෙන්ද්‍රය පමනක් පරික්ශා කරන ශස්ත්‍රය බාගෙට ඉගෙනගත් ජොතීර් වේදීන් නිසා නියම ශාස්ත්‍රය අභාවයට යමින් පවති... දැන් දැන් කේන්ද්‍රය සෑදීමේදි නවාංශකය හා ලග්නය සහිත භාව කේන්ද්‍රය පමනක් සාදයි... නමුත් ලග්නයේ සියුම් දේ විස්තර වන්නේ ඉහත සඳහන් කල පරිදි සියල්ලම පරික්ශා කල විටය...

ජෝතිශය යනු මැජික් නොව ගණිත ක්‍රම හරහා ග්‍රහ වස්තුන්ගේ පිහිටීම් බලා ඒ ඒ ග්‍රහවස්තුන් තම තමන්ගේ ජීවිත වලට බල පාන ආකරය පැහැදිලි කරන විද්‍යාවකි.. 

Friday, November 15, 2013

ග්‍රහ යන්ගේ උච්ච නීච ස්වාභාව

*රාහු හා කේතු කන්‍යා හා මීන රාශි වල ස්වක්ෂේත්‍ර වුවත් රාහු හා කේතුට එම රාශි අදිපති කම නොලැබේ
කන්‍යා රාශිය අයිති වන්නේ බුධ ග්‍රහයාටය...

මිත්‍ර උච්ච හා ස්වක්ශේත්‍ර ( තමන්ට අයිති රාශිය ) පිලිවලින් සුභ පල වඩිපුරත් සම නීච හා සතුරු පිලිවලින් අසුභ පල වැඩිපුරත් දෙනු ලැබේ.. 

...අරමුන...

කුම්බ ලග්නෙට මේ දවස් කොහොමද? බුධ මහ දසාව ගෙවෙන අයට මේ දවස් වල ලොතරැයි වාසනාව තියනවා කියන්නේ ඇත්තද? වෘශභ ලග්න කාරයෝ පිට ඔපේ ගැනම හිතනවා කියන්නේ ඇත්තද? මේ ජෝතිශ්‍යය සම්බන්දව කතා කරන තැන්වලදී මට ඉඳහිට කන වැකුනු දේවල්ය... මේවාට සෑම විටකම වාගේ කුමක් හෝ පිලිතුරක් ද නිසැකවම ලැබේ... සමහර විට හරි යන මෙම පිලිතුර සමහර විට හොඳටම වරදින අවස්ථාද ඇත...
දැන් අපි මෙවැන්නක් සලකා බලමු..
කොළඹ කෙල්ලන් මොන වගේද?ටයිට් ජීන්ස් අඳින, නයිට් ක්ලබ් යන, සුරා පානය කරන, ඉගෙන ගැනීමට බැරි යැයි කෙනෙක්ට කිව හැක... තවත් අයෙක් මුලු දවසම පන්සලේ සිටින,නිතරම සුදුවතින් සැරසී සිටින බ්‍රහ්මචාරි දිවියක් ගත කිරීමට වඩා කැමැති පරාර්ථකාමි අය යැයි කීමටද පුලුවන.. තවත් කෙනෙක් අධ්‍යාපනයට ඉතාම ලැදි අනුන්ට වල කපා හෝ තමාගේ අධ්‍යාපන අරමුනු ඉටු කර ගැනීමට කැමති අය යැයි කිව හැක... මේ තුන් කොටසම කොළඹ ජීවත් වෙන බව හොඳින් සමාජය දෙස බැලූ කල ඔබට පෙනේවි...දැන් අපි මුලින්ම ඇසූ ප්‍රශ්නය දෙස බලමුකුම්බ රාශිය යනු කුමක්දැයි බලමු පෘථිවියේ වට ප්‍රමානය හැතැප්ම 25000ක් පමන වේ. සෙනසුරු ග්‍රහයාට ඇති දුර ආසන්න වශයෙන් හැතැප්ම 80000000 පමන වේ. පෘථිවියේ සිට මෙම දුර අරය වශයෙන් ගෙන ගෙන ප්වුමක් ඇන්දොත් එහි ප්‍රමානය හැතැප්ම 5000000000 (පන්සිය කෝටියක් පමන වේ එවිට කුම්බ රාශියේ ප්‍රමානය ආසන්න වශයෙන් පෘථිවි පෘශ්ඨය ආසන්නයෙදී හැතැප්ම 2000 කට ආසන්න පමානයක් (25000/12) සෙනසුරු ග්‍රහයා ආසන්නයේදි හැතැප්ම 400000000 (හතලිස් කෝටියක්) ප්‍රමානයක් (5000000000/12) ද වෙයි... කොළඹ වැනි කුඩා ප්‍රදේශයකත් ගෑනු ලමුන් පමනක් සැලකූ විට නිවැරදි තනි පිලිත්‍රක් නැත්තා සේ ඉරිදා පත්තරේ මේ රාශි 12 ගැන කියන තොරතුරු නිවැරදි වීමට ඇති සම්භාවිතාව කොපමනක් දැයි ඔබට දැන් වැටහෙනවා ඇත.. පත්තරේ තමන්ගේ ලග්නයට හොඳයැයි කියා තිබුනත් ත්මාට එම සතිය අන්තිම නරක එකක් වීම නිසා ජොතිශ්‍යය පිලිබඳව ඇති විශ්වාසය බිඳගත් අය මට හමුවී ඇත... එම නිසා යමක් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථම ඒ පිලිඹඳව වැඩි දුර අධ්‍යයනය කිරීම මැනවයි මා සිතමි... ජෝතිශ්‍යය පිලිඹඳ උනන්දුවක් ඇති ඔබට සැලකිය යුතු දැනුමක් ලබාදීමේ අරමුනෙන් මට ඉඩ ලැබෙන සෑම විටකම මෙම බ්ලොග් එක හරහා මාගේ දැනුම බෙදා දීමටද ඔබේ ගැටලු වලට හැකිතාක් පිලිතුරු ලබා දීමටද තීරනය කලෙමි කැමැත්තෙමි...