Monday, March 16, 2015

ගෝචර ගැන නොදත් පැත්ත

                               
                               යමෙකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් සටහන් වී තිබෙන්නේ තමා උපන් වෙලාවේ අහස කුස ග්‍රහයන් තැම්පත්ව සිටි ආකාරයටය. මෙහිදී මම ග්‍රහයන් ජන්ම පත්‍රයේ නොයෙක් බල දුබල කම් සහිතව තිබෙන්නට පුළුවන. මේ බල දුබල කම් වර්තමානයේ ග්‍රහයන්ගේ බ්‍රමණය නිසා එ ග්‍රහයා ගේ තුල ඇති වන තාවකාලික බල දුබල කම් නිසා වෙනස්වේ. වෙනත් විදිහකින් කියන්නේ නම් ග්‍රහයා වර්තමානයේදී රාශියෙන් රාශියට ගමන් කිරීම (ගෝචර විම) නිසා ජන්ම පත්‍රයේ එම ග්‍රහයාගේ ප්‍රථිපලය නවීකරණය කරයි. මෙය ගෝචර පල ලෙස හඳුන්වයි. 

                                මා පෙර සඳහන් කල පරිදි ගෝචර පල ගැන සැලකීමේදී අප බොහෝ වෙලාවට සලකන්නේ ග්‍රහයා රාශියෙන් රාශියට ගෝචර විම හෙවත් ගමන් කිරීමය. නමුත් ග්‍රහයා බ්‍රමණය වීමේදී රාශි මෙන්ම නැකත්ද පසු කරමින් යයි. මේ අනුව එකම රාශියක සිටින කාලයකදී ග්‍රහයා නැකත් තුනකට ගෝචර වේ. උදාහරණයක් ගන්නේ නම් මේෂ රාශියේ ග්‍රහයෙක් ගමන් කරනවිට එම ග්‍රහයා අස්විද හා බෙරණ යන නැකත් දෙක සම්පුර්නයෙන්මත් කැති නැකතේ පළමු පාදයෙත් ගමන් කරයි. වෘෂභ රාශියේ ගමන් කරන විට කැති නැකතේ දෙවන පාදයේ සිට කැති රෙහෙන යන නැකත් දෙක සම්පුර්ණ කර මුවසිරස නැකතේ පාද දෙකක් සම්පුර්ණ කරයි.


                                  මේ ආකාරයෙන් ග්‍රහයා නැකත් මත ගෝචර විම සලකා පලාපල බැලීම “සුක්ෂම ගෝචර” ක්‍රමය නමින් හඳුන්වයි. මෙහිදී යම් ග්‍රහයෙක්  සිටින නැකත සලකා එම නැකතට අධිපති ග්‍රහයා එම ලග්නයට සුභ ග්‍රහයෙක්ද දුෂ්ට ස්ථාන අධිපතියෙක්ද කියා සලකා පලාපල තීරණය කල යුතුය. උදාහරණයක් ලෙස වෘෂ්චික ලග්නයේ උපන් ජන්මියෙක්ව සලකමු ඔහු මේ වන විට ගුරු මහා දසාව ගතකරන්නේය කියා සිතමු. මේ වන විට ඔහුගේ දෙවැන්න අධිපති ගුරු ග්‍රහයා ගොචරයෙන් ලග්න ගතව සිටින අතර සියලුම ග්‍රහයන්ගේ ගොචරයෙන් තැම්පත්විම පහත පරිදි යයි උපකල්පනය කරමු.
                                මේ අවස්ථාවේදී ගුරු ලග්න ගත විම නිසා ලග්නයේ සිටිනා අවුරුද්දක කාලය (ගුරු එක් රාශියක වසරකට ආසන්න කාලයක් සිටියි) යහපත් පල දිය යුතුය. ඒ ගුරු ලග්නයේ දිග්බල වන අතර වෘශ්චිකය තමාට මිත්‍ර රාශියකි. මිට අමතරව  ගුරු පස්වැන්න අධිපතියාද වෙ.මේ නිසා පලාපල කීමේදී එ වසරම යහපත් ලෙස එකවරම පෙනේ. නමුත් මෙහි මුල් මාස හතක පමණ කාලය ජන්මියාට යහපත් පල ලබා දුන්නද අවසාන කාලය අසුභ පල ලබා දෙයි එසේ නොමැතිනම් සුභ පල අවම කරයි. මෙයට හේතුව වෘෂ්චික රාශියේ අවසාන කොටස බුධ හිමි දෙට නැකතට අයත් වීමත් බුධ ග්‍රහයා මෙම ලග්නයට අටවැන්න හා එකොලොස්වැන්න යන මාරකස්තාන අධිපති කම නිසා පාපයෙක් වීමත් නිසාය.

                                මේ ආකාරයෙන් යම් ග්‍රහයෙක් එක් රාශියක් තුල ගත කරන කාලයකදී වුවත් තමාට අදාළ ප්‍රථිපල පමණක්ම නොදී තමා සිටින නැකත මත ප්‍රථිපල නවීකරණය විය හැකි බව පැහැදිළිය. වැඩි කාලයක් එක් රාශියක සිටින ග්‍රහයන් සඳහා මෙම ක්‍රමය වඩාත් වැදගත්වේ.

ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක.
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
මාලබේ
0755004166

2 comments: