Saturday, October 24, 2015

ගජ-කේෂරී යෝගය


ඕම ආදිත්‍යාය නමඃ
ඕම ගුරුවේ නමඃ


තරමක් සුලභ යෝගයක් ලෙස පෙනෙන්නට තිබේ (සත්‍ය වශයෙන්ම එය එසේදැයි මෙය කියවීමෙන් පසුව තීරණය කිරීම පාඨකයා සතුය) මේ යෝගය ඇති පුද්ගලයා ධනවත්, ප්‍රසිද්ධ, යානවාහන ඇති රජුන්ගේන්  ලැබීම ඇති පුද්ගලයෙක් වන බව මේ යෝගය පිළිබඳව සඳහන් වන සැම තැනකම සඳහන් වේ. කෙසේ නමුත් මේ යෝගය ඇතැයි පැවසෙන 90%ක් පමණ දෙනා නම් පවසන්නේ මෙම යෝගය තමන්ට කිසි ප්‍රතිපලයක් ලබා දි නැති බවය.


යෝගය යෙදීම.

ජන්ම පත්‍රයේ චන්ද්‍රයා තම්පත්වී සිටින තැනින් කේන්ද්‍ර ගතව (1,4,7,10) ගුරු ග්‍රහයා තැම්පත්විම ගජ කෙශරී යෝගය ලෙස සරලව දක්වා ඇත. නමුත් ඉහත සඳහන් කල ප්‍රතිපල ලැබීමට නම් මෙම පිහිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. පරාසරයෙහි සඳහන් සැම යෝගයක්ම එහි සඳහන්ව ඇති ප්‍රථිපලය ලබා දීමට නම් එම යෝගයට සම්භන්ධ වන ග්‍රහයන් බලවත්ව සුභ ස්ථාන වල සිටිය යුතුය. එසේ නොමැතිනම් ප්‍රතිපලයෙන් අඩක් හෝ විටක ඊටත් අඩු තත්වයකින් පල දෙනු ඇත.
මෙම යෝගය ජන්ම පත්‍රයේ කේන්ද්‍ර ස්ථාන මුලික කරගෙන යෙදීම ඉතා සුබ අතර යම් හෙයකින් මෙම යෝගය ත්‍රික ස්ථානයක් සම්භන්ධ කරගෙන (හඳහනේ 6,8,12 යන ස්ථාන) යෙදී තිබුණහොත් යෝගය දුර්වල වේ.
එමෙන්ම යෝගයට සම්භන්ධ වන ගුරු හා සඳු නිචව සතුරු ස්ථාන ගතව තැම්පත්විම යෝගයේ පල හානි කරවන අතර ග්‍රහයන් උච්චව හෝ ස්වක්ෂේස්ත්‍රව සිටීම යෝගය ශක්තිමත් කිරීමට හේතුවේ.
මිට අමතරව යම් හෙයකින් මෙම යෝගය සකසන ගුරු හෝ චන්ද්‍රයාට ජන්ම පත්‍රයේ සිටින පාපී ග්‍රහයන් සියල්ලන්ගෙන්ම හෝ වැඩි ප්‍රමාණයකින් දෘෂ්ටි ලැබේනම් මෙම යෝගය දුර්වලව ප්‍රතිපල හානි කරයි.

උදාහරණයක් ලෙස අපි සුප්‍රසිද්ධ නිළි මාධුරි ඩික්සිත් ගේ ජන්ම පත්‍රයේ ඇති ගජ කේෂරී යෝගය පරික්ෂා කරමු.

1967/05/15 සවස 06:15 ට ඉන්දියාවේ මුම්බායි හීදී.


තුලා ලග්නයෙන් උපන් මාධුරි ගේ ජන්ම පත්‍රයේ දසවැන්නේ ගුරු ග්‍රහයා සහ චන්ද්‍රයා එක්ව තැම්පත් වෙමින් ගජකේෂරී යෝගයක් සකස් වී ඇත. කේන්ද්‍රස්ථානයක යෙදී ඇති බැවින් මෙම යෝගය බලවත්ය. මෙම ජන්ම පත්‍රයේ දසවැන්න වන්නේ කටක රාශියයි. මෙහිදී ගුරු ග්‍රහයා උච්ච වන අතර චන්ද්‍රයා ස්වක්ශේත්‍ර වේ. මෙයද යෝගය යහපත් ලෙස පල දීමට අත්‍යාවශ්‍ය තත්වයකි. මිට අමතරව මෙම ග්‍රහයන් දෙදෙනාට පාපග්‍රහයන් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටි යොමු වෙන්නේ නැත. මෙයත් සුභ තත්වයකි. මේ අනුව මාධුරි ගේ ජන්ම පත්‍රයේ ගජ කේෂරී යෝගය යහපත් ලෙස යෙදී ඇති බව පෙනෙන්නට ඇති අතර යෝගයෙන් කියවෙන සියලු පල ඇය වෙත ලැබී ඇති බවත් පෙනෙන්නට තිබේ.


යෝගය පල දෙන කාලය

යෝගයක් සැම අවස්ථාවේම පල දෙන්නේ නැත. පල දීමට නම් එම යෝගයට සම්භන්ධ  ග්‍රහයන්ගේ මහා දසා කාලයක් හෝ අන්තර් දසා කාලයක් ගත විය යුතුය. මෙහිදී චන්ද්‍රයා ගේ සහ ගුරු ගේ මහා දසා අන්තර් දසා කාල වල පල ලබා දෙයි.  දසා කාලයකදී වුවත් ග්‍රහයා ගෝචර ගමනෙන් දුර්වල ස්ථානයක වේනම් හෝ අෂ්ටක වර්ග අගය තුලින් දුර්වල තත්වයක වේනම් ප්‍රතිපල ලබාදීම අවම වේ. යම් හෙයකින් ග්‍රහයා වෘද්ධ අවස්ථාවේ සිටිනම් ප්‍රතිපල දීම පමා වන අතර ජිවිතයේ මුල් භාගයේ ගතවන දසා කාල වල මෙම යෝගය ප්‍රතිපල ලබා නොදීමට ඉඩ ඇත.

වෝල්ට් ඩිස්නි ගේ හඳහන.
1901/12/05 චිකාගෝ ඉලිනොයිස් (ඇමෙරිකාව) හිදී. පාන්දර 00:35



අප කවුරුත් හඳුනන මිකී මවුස් නිර්මාණය කල වෝල්ට් ඩිස්නිගේ ජන්මපත්‍රයේ ද ගුරු බලවත්ව ජෙන්ද්‍රස්තානයක තැම්පත් වෙමින් ගජකේෂරී යෝගය සකස්වී ඇති නමුත් ගුරු ග්‍රහයා තැම්පත්ව ඇත්තේ ධනු රාශියේ අංශක 22 කළා 55ය. මේ අනුව ග්‍රහයා වෘද්ධ තත්වයේ පසුවන අතර ජිවිතයේ මුල් කාලයේ පැමිණෙන ගුරු ගේ දසා කාලවල මෙම යෝගය පල නොදේ. බොහෝ විට පලදීම ගුරුගේ නෛසර්ගික වයස පසු වූ පසුවය. කෙසේ නමුත් චන්ද්‍රයා අංශක 16 තැම්පත් වෙමින් තරුණ අවධියේ පසුවන අතර චන්ද්‍රයාට පල දීම සම්භන්ධව ගැටළුවක් නැත.
වෝල්ට් ඩිස්නි චන්ද්‍රයාගේ බලපෑම මත රාහුගේ චන්ද්‍ර අන්තර් දසා කාලයේ සුළු වශයෙන් සාර්ථක වුවත් (යෝගයේ බලවත්ම ග්‍රහයා චන්ද්‍රයා නොවේ) ගුරු මහා දසාව අවුරුදු 30න් ආරම්බ වූ අතර ගුරුගේ නෛසර්ගික වයස වන අවුරුදු 35න් පසුව ඉතාම ජනප්‍රිය විය.  


ග්‍රහ යෝගයක් තිබු පමණින් ප්‍රතිපල නොලැබෙන බවත් මෙවැනි සුභ පල සහිත යෝගයක් ඇත්ත වශයෙන්ම දුර්ලභ දෙයක් බවත් දැන් පාඨකයාට වැටහෙනු ඇත. මෙහිදී ජ්‍යෝතිර්වේදීන් සතුවද වගකීමක් ඇත එනම් යෝගයක් යාන්තමින් යෙදුන පමණින් අසවල් දේ සිදුවේය කියා කීමට වඩා ඇත්ත ඇතිසැටියෙන් විස්තර කර කීමය. බොහෝ ජ්‍යෝතිර්වේදීන් තම සේවා දායකයාගේ සිත සතුටු කිරීමට යෝග හා හේතු හද හදා කියන නමුත් ඉන් ශාස්ත්‍රයට සිදුවන හානිය පිළිබඳව හා සේවාදායකයාට සිදුවන හානිය පිළිබඳව නොසිතිම කනගාටුවට කරුණකි.

මෙම ලිපියේ අපැහැදිලි තැන් වේ නම් ඔබට ගැටළු සහිත තැන වේනම්. අපව සම්භන්ධ කරගෙන එම ගැටලුව විසඳා ගැනීමට පසුබට නොවන්න. ඔබගේ අදහස් හා යෝජනාද ඉතා අගය කර සලකමු.


ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
වේදීය ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනය
මාලබේ
0755004166 

1 comment:

  1. ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි

    ReplyDelete