Wednesday, December 18, 2013

දෙයියන්ගේ ලෙඩ


වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම දෙවියන්ට අමතක වුනාලු. මේ මහා දේව සමුලුවට කලින් දවසේදී තමයි හදීසියේම මේක මතක් වෙන්නේ. අන්තිම මොහොතේ මේක කරන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මතක් වුනාලු මීට කලින් වතාවක පවත්වපු  යක්ෂ සමුලුවේ ඉතාම හොඳ සැරසිලි කරලා තිබ්බ කියලා අනෙක් යක්ෂයන් ගරා යකාගේ හොඳ කිව්ව එක.. කතරගම දෙවියොත් ගරායකාව කැඳවලා වැඩේ බාරදුන්නලු හොඳින් කරන්න කියලා.
                              දැන් ගරා යකා කල්පනා කරනවලු එයා යක්ෂ සමුලුවේ කරපු විදිහටම ලස්සනට සරසන්න ඔනේ කියලා.. එහෙම හිතලා යක්ෂ සමුලුව සරසපු විදිහටම ඇටකටු, මස් කෑලි, බොකු බඩවැල් ගෙනල්ලා මුලු දේව සභාවම සැරසුවලු.
                              පහුවෙනිදා රැස්වීමට දෙවියන් ආවම මුලු ශාලාවම ඇටකටු, මස් හා බඩවැල් වලින් සරසලා තියනවා දැක්කලු. මේක දැකපු දෙවියන් කතරගම දෙවියන්ට හොඳටම දොස් කිව්වලු. කෝපයට පත් කතරගම දෙවියනුත් ගරා යකාට බැනවැදිලා කිව්වලු වහාම ශාලාව අස් කරන්න කියලා. මස් විසිකරන්න ලෝබ වුන ගරා යකා කටු සූප්පු කරමින් මස් කන්න ගත්තලු.. 
                              මස් කනවා දැකලා ඇතිවුන අපුලත් මස් වල සුවඳ අග්‍රහනය වීමත් මාංශ හා ලේ ඇඟේ ගෑවීමත් නිසා දෙවියන් අසනීපවෙන්න ගත්තලු. ඇඟ කහ ගැහිලා උන හැදුනලු සමහරුන්ගේ ඇඟේ කුඩා බිබිලි එන්න ගත්තලු. දෙවියන්ගේ ලෙඩ වල ආරම්භය ගැන ජනප්‍රවාදයේ එන්නේ එහෙමයි
                              කොහොම හරි මේ අයව බේරගන්න පුලුවන් වුනේ පත්තිනි මැනියන්ටලු. ඇගේ සලුවෙන් හත් වරක් පවන් සැලුවම දෙවියන් සුව වුනාලු. අන්න ඒ නිසාලු සරම්ප පැපොල වගෙ දෙවියන්ගේ ලෙඩ හැදුනම මිනිස්සු පත්තිනි මෑනියන්ට බාර වෙලා පිහිට පතන්න පුරුදු වුනේ.

No comments:

Post a Comment